Swipe left or right to navigate stories
ට්‍රම්ප් ඉරානයට එල්ල කිරීමට සැලසුම් කළ ප්‍රහාරය කල් දමයි

ට්‍රම්ප් ඉරානයට එල්ල කිරීමට සැලසුම් කළ ප්‍රහාරය කල් දමයි

මැදපෙරදිග කලාපීය නායකයන්ගේ ඉල්ලීම පරිදි ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ ලැයිස්තුගත ප්‍රහාරයක් කල් දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා පවසන්නේ මෙම තීරණය වෙනස් කිරීමට හේතු වූයේ මේ වන විට බැරෑරුම් සාකච්ඡා සිදුවෙමින් පැවතීම බවය.

ඒ් ඔස්සේ ඇමරිකා එක්සත් ජනපදයට මෙන්ම මැදපෙරදිග සහ ඉන් ඔබ්බෙහි ඇති සියලුම රටවලට ඉතාමත් පිළිගත හැකි ආකාරයේ එකඟතාවයකට එළඹෙනු ඇති බවද ට්‍රම්ප්, තම ‘ටෘත් සෝෂල්’ ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේය.



රාජ්‍ය නායකයන්ගේ මැදිහත් වීම

එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම නිමා කිරීම සඳහා ඇනහිට තිබූ සාකච්ඡාවලදී කිසියම් ප්‍රගතියක් හෝ ඉදිරි පිම්මක් ලබාගෙන තිබේද යන්න තවමත් පැහැදිලි නැත.

කෙසේ වෙතත් කටාර් රාජ්‍යයේ එමීර් තමීම් බින් හමාඩ් අල් තානි සහ සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඇතුළු නායකයන්ගේ මැදිහත්වීම අගය කළ ට්‍රම්ප්, ඔවුන් තම තීරණය වෙනස් කිරීමට හේතු වූ බව පවසා සිටියේය.

"හෙට (19) දින ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාරය ක්‍රියාත්මක නොකරන ලෙස මම යුද ලේකම් පීට් හෙග්සෙත්, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ඩැනියෙල් කේන් සහ එක්සත් ජනපද හමුදාවට උපදෙස් දුන්නා." යැයි ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේය.



සාම සාකච්ඡා

පෙබරවාරි 28 වැනිදා එක්සත් ජනපදය ඊශ්‍රායලය සමග එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කරමින් යුද්ධය ආරම්භ කළ තැන් සිට පාකිස්ථානය මෙහි මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරයි.

ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් නොකළහොත් සම්පූර්ණ ශිෂ්ටාචාරයක්ම විනාශ වනු ඇතැයි ට්‍රම්ප් එල්ල කළ තර්ජන මාලාවකින් පසුව අප්‍රේල් 8 වැනිදා ඉරානය සහ ඇමරිකාව අතර සටන් විරාම ගිවිසුමකට එළඹුණි.

එහෙත් දෙපාර්ශවයම එකිනෙකාට ගිවිසුම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් සිටින බැවින් එම සටන් විරාමය ඉතා බිඳෙනසුලු මට්ටමක පවතී.



සාකච්ඡා අසාර්ථක වුවහොත්

ප්‍රහාර කල් දැමුවද පිළිගත හැකි එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත්, ඉතා කෙටි දැනුම්දීමකින් ඉරානයට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම්ව සිටින ලෙස හමුදා ප්‍රධානීන්ට උපදෙස් දුන් බවද ට්‍රම්ප් අවධාරණය කළේය.

පසුගිය දින කිහිපය පුරාම ඉරානයට එරෙහිව දැඩි සතුරු ආකල්පයකින් යුතුව අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ට්‍රම්ප් මෙම නවතම සටහන තබා ඇත.

ඊට පෙර දින ඔහු ලියා තිබුණේ ඉරාන නිලධාරීන්ට එකඟතාවයකට පැමිණීම සඳහා කාලය වේගයෙන් ගෙවී යමින් පවතින බවත්, ඉක්මණින් තීරණයක් නොගතහොත් ඔවුන්ගෙන් කිසිවක් ඉතිරි නොවනු ඇති බවත්ය.



ගැටුමේ ආරම්භය

ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීම වැළැක්වීම සඳහා මෙම යුද්ධය අත්‍යවශ්‍ය වූ බව ට්‍රම්ප් තර්ක කරයි. න්‍යෂ්ටික අවි සන්තක කරගැනීම රතු ඉරක් ඉක්මවා යාමක් ලෙසද එහිදී ඔහු හ‍ඳින්වීය.

"මේ ගිවිසුමට වැදගත්ම දේ ලෙස ඇතුළත් වෙන්නේ, ඉරානයට කිසිදු න්‍යෂ්ටික අවියක් අයිති කරගැනීමට නොහැකි වීමයි" යන්ද ඔහු සඳුදා (18) තැබූ ‘ටෘත් සෝෂල්’ ගිණුමේ වැඩිදුරටත් සටහන් විය.

කෙසේ වෙතත් ඉරානය දිගින් දිගටම කියා සිටින්නේ තමන් එවැනි අවියක් නිපදවීමට උත්සාහ නොකරන බවය.



ඉරාන ජනපතිගේ ප්‍රකාශය

සඳුදා (18) දින මුල් භාගයේදී ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ කුමන තත්ත්වයක් යටතේ වුවද තම රජය රටේ අවශ්‍යතා ආරක්ෂා කරන බවය.

"ඉස්ලාමීය ඉරාන ජනරජය සාකච්ඡාවලට ප්‍රවේශ වෙන්නේ අභිමානයෙන්, බලධාරීත්වයෙන් සහ ජාතියේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්. සාකච්ඡා මාර්ගයට එනවා කියන්නේ යටත් වීම නෙවෙයි" පෙසෙෂ්කියන් පැවසීය.

"අපි කිසිම විටෙක රටේ සහ ජනතාවගේ නෛතික අයිතිවාසිකම්වලින් පසුබට වෙන්නේ නැහැ." යැයිද එහිදී ඔහු වැඩි දුරටක් පැවසීය.



දේශපාලනික බාධාවක්

ඉදිරි නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය දැඩි තරඟකාරීත්වයකට මුහුණ දී සිටින පසුබිමක, ඉරානය සමග පවතින මෙම යුද්ධය ට්‍රම්ප්ට විශාල දේශපාලනික බාධාවක් වී තිබේ.

සඳුදා උදෑසන නිකුත් කරන ලද ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ මත විමසුමකට අනුව ඇමරිකානු වැඩිහිටියන්ගෙන් 64% ක්ම විශ්වාස කරන්නේ ඉරානය සමඟ යුද්ධයකට පැටලීම වැරදි තීරණයක් බවය.

පෙන්ටගන නිලධාරීන්ට අනුව මේ වන විට මෙම යුද්ධය වෙනුවෙන් ඇමරිකානු රජයට අවම වශයෙන් ඩොලර් බිලියන 29 ක් වැය වී ඇති අතර සමහර විශේෂඥයන් ඇස්තමේන්තු කරන්නේ මෙහි සැබෑ පිරිවැය මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem