Swipe left or right to navigate stories
ඥානසාර හිමියන්ගේ මාස 09 ක සිරදඬුවම මහාධිකරණයෙන් ස්ථීර කරයි

ඥානසාර හිමියන්ගේ මාස 09 ක සිරදඬුවම මහාධිකරණයෙන් ස්ථීර කරයි

මාධ්‍ය සාකච්ඡාවකදී මුස්ලිම් සහ සිංහල ජනයා අතර අසමගියක් ඇතිවන අන්දමින් ප්‍රකාශයක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් මාස 09 ක සිර දඬුවම මහාධිකරණය විසින් ස්ථීර කර ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (07) දන්වා සිටියේය.

මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුව අද (07) විවෘත අධිකරණයේ කියවා දෙමින් මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ, මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් මහාධිකරණය මැදිහත්වීමට අවශ්‍ය නොවන බව මහාධිකරණ නඩු තීන්දුවේ සඳහන් කර ඇති බවය.



අභියාචනය නිෂ්ප්‍රභ වීම සහ නඩුවේ පසුබිම

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් මාස 09 ක සිර දඬුවම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අදාළ තීන්දුව අභියෝගයට ලක්කරමින් කොළඹ මහාධිකරණයේ අභියාචනයක් ගොනු කර තිබූ අතර එම අභියාචනය නිෂ්ප්‍රභ කරන බව මහාධිකරණ තීන්දුවේ සඳහන්ව තිබුණි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඉකුත් 2025 වසරේ ජනවාරි මස 09 වැනිදා මාස 09 ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 1,500 ක දඩ මුදලක් නියම කර තිබිණි.

අදාළ නියෝගය කියවා දීම සඳහා චුදිත හිමිනම පෙර නඩු දිනයේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පෙර නඩු දිනයේදී වරෙන්තු නිකුත් කර තිබූ අතර ඒ අනුව අද (07) නඩුව කැඳවූ අවස්ථාවේදී සිරකරු ඇඳුමින් සැරසුණු ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.



ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

අදාළ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ද ඉල්ලුම් පත්‍රයක්/අභියාචනයක් යොමු කර ඇති බව මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී චුදිත හිමිනම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ මහතා සඳහන් කළේය.

එම ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය සම්බන්ධයෙන් ලබන පෙබරවාරි 23 වැනිදා කරුණු සලකා බැලීමට නියමිත බවද නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ එම අභියාචනය සම්බන්ධයෙන් කරුණු සලකා බලන තෙක් නඩුව පෙබරවාරි 25 වැනිදා යළි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එදිනට සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem