Swipe left or right to navigate stories
ජලය, විදුලිය හා ආහාර සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට ජනපතිගෙන් උපදෙස්

ජලය, විදුලිය හා ආහාර සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට ජනපතිගෙන් උපදෙස්

පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය සහ ඉදිරියේදී අපේක්ෂා කෙරෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මතුවිය හැකි සමාජයීය හා ආර්ථික බලපෑම් පිළිබඳව කල්තියා විශ්ලේෂණය කර, පානීය ජලය, විදුලිය සහ ආහාර සැපයුම් තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා විස්තීර්ණ වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආපදා කළමනාකරණයට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.



සැපයුම් ජාල සුරක්ෂිත කිරීම සහ වනජීවී ආරක්ෂණයට පෙර සූදානමක්

මෙම සාකච්ඡාවේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කාලගුණික තත්ත්වයන්හි නවතම වර්ධනයන් සහ ඉදිරි අනාවැකි පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබීය.

ඒ අනුව අපේක්ෂිත කාලගුණික විපර්යාසයන් හමුවේ පවතින ආපදා කළමනාකරණ සැලසුම් යාවත්කාලීන කිරීමටත්, වනජීවීන්ට සිදුවිය හැකි බලපෑම් තක්සේරු කර දිගුකාලීන විසඳුම් හඳුනා ගැනීමටත් මෙම විස්තීර්ණ වාර්තාව උපකාරී වනු ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.



ක්ෂේත්‍ර නිලධාරීන් කැඳවා ඒකාබද්ධ මෙහෙයුම් ඇරඹීමට සැලසුම්

අදාළ කාලගුණ අනාවැකි විශ්ලේෂණ වාර්තාව අවසන් වූ වහාම, සියලු බලධාරීන්ට ඒකාබද්ධව ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන පරිදි ප්‍රාදේශීය ක්ෂේත්‍ර නිලධාරීන් කැඳවා ඉදිරි පියවර සාකච්ඡා කරන ලෙස ද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.එල්. විජේමාන්න සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ගාමිණී ජයතිස්ස යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem