Swipe left or right to navigate stories
ජනාධිපති සහ රාජ්නාත් සිං හමුවෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් 3 ක් හුවමාරු වෙයි

ජනාධිපති සහ රාජ්නාත් සිං හමුවෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් 3 ක් හුවමාරු වෙයි

මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුව අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇත්තේ වසර 38 කට පසුව වීම විශේෂත්වයකි.

දෙරට අතර පවතින ආරක්ෂක, ආර්ථික, සාගර සහ කලාපීය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.



මත්ද්‍රව්‍ය මර්දනය සහ කලාපීය ආරක්ෂාව

ඉන්දියානු සාගරය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇති බැවින්, මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමේ ජාතික වැඩසටහන සඳහා ඉන්දියාවේ සහාය ජනාධිපතිවරයා අපේක්ෂා කළේය. විශේෂයෙන් දැනට ඉන්දියාවේ සිරගතව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන ඒම සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය ලැබෙනු ඇති බවට ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

ඉන්දියානු සාගර කලාපය සාමකාමීව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහයෝගය හිමිවන බව පැවසූ ජනාධිපතිවරයා, ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස විවිධ රටවල් සමග ගිවිසුම්වලට එළඹෙන්නේ කලාපීය ආරක්ෂාව පිළිබඳවද සැලකිලිමත් වෙමින් බව අවධාරණය කළේය.

"අසල්වැසියා පළමුව" විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාව සුවිශේෂී වන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් පසුගිය දෙවසර තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට ගත් පියවර අගය කරන බවත් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. මීට අමතරව ධීවර ගැටලුව විසඳා ගැනීමට දෙරට සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳවද අවධානය යොමු විය.



නව ගිවිසුම් 3ක් සහ බේලි පාලම් 3ක් ජනතා අයිතියට

දෙරට අතර සහයෝගීතාව පුළුල් කරමින් නව ගිවිසුම් 3ක් හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවිය.

  • L70 තුවක්කු පද්ධති ගිවිසුම: ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා L70 තුවක්කු පද්ධති නවීකරණය සහ වැඩිදියුණු කිරීම.

  • අධ්‍යයන සහයෝගීතා ගිවිසුම: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාල අතර සහයෝගීතාව.

  • ශිෂ්‍යභට බලකා ගිවිසුම: ශ්‍රී ලංකා සහ ඉන්දීය ශිෂ්‍යභට බලකායන් අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව.

මෙම ගිවිසුම් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් විසින් හුවමාරු කර ගන්නා ලදී.

තවද දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීමට ඉන්දියාව දුන් සහාය යටතේ කුරුණෑගල (පන්සීයගම, කැබැල්ලෑව) සහ මඩකලපුව (පලුගමම්) යන ප්‍රදේශවල ස්ථාපනය කරන ලද බේලි පාලම් 3 ක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ ජනතා අයිතියට පැවැරීමද ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතින් සිදුවිය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem