Swipe left or right to navigate stories
චමරි විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර තෙවැනි තැනට

චමරි විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර තෙවැනි තැනට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ප්‍රසාද ලකුණු 368 ක් ලබාගනිමින් කාන්තා විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර තෙවැනි ස්ථානයට පැමි‍ණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්ව සිටින්නීය.

බංග්ලාදේශයේදී පැවැති විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීම ස‍ඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ චමරි, එම තරග 3 දී පිළිවෙළින් ලකුණු 32, 42 සහ 41 බැගින් මුළු ලකුණු 115 ක් රැස් කරමින් කඩුලු 4 ක් දවාගැනීමටද සමත් වූවාය.

විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ චමරි ලබාගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර නවසීලන්තයේ ඇමීලියා කේර් සහ බටහිර ඉන්දීය කොදෙව්හි හේලි මැතිව්ස් දක්තම තුන් ඉරියව් ක්‍රීඩිකාවන් දෙදෙනා ‍ලෙස එම ලැයිස්තුවේ චමරිට ඉදිරියෙන් සිටිති.

තරගාවලිය පුරා දැක්වූ කැපී පෙණුන දස්කම් හේතුවෙන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයද දිනාගත් චමරි, විස්සයි-20 පන්දු යවන්නියන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 3 ක් ඉදිරියට පැමිණ 41 වැනි ස්ථානයට පත්ව ඇති අතර විස්සයි-20 පිතිකාරිණියන් අතර 9 වැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටින්නීය.

චමරිගේ මෙම දස්කම් එළඹෙන ජුනි මස 12 වැනිදා එංගලන්තයේ සහ වේල්සයේදී ආරම්භ වන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ස‍ඳහා බෙහෙවින්ම ඉවහල් වනු ඇත. ඇගේ නායකත්වය යටතේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, එංගලන්තයට එරෙහිව සමාරම්භක තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පිතිකාරිණියන් අතර හර්ෂිතා සමරවික්‍රම ස්ථාන 3 ක් ඉදිරියට එමින් සම 20 වැනි ස්ථානයටත්, ඉමේෂා දුලානි ස්ථාන 23 ක් ඉදිරියට එමින් 49 වැනි ස්ථානයටත් පත්ව සිටිති. කවිෂා දිල්හාරි පන්දු යවන්නියන්ගේ ලැයිස්තුවේ 17 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ස්ථාන 2 ක් ඉදිරියට පැමිණෙමිනි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem