පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන මෙම මස 24 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (18) පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දෙන ලදි.
පෙත්සම්කාර පාර්ශවය
එහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින් පුද්ගල නිදහස සුරක්ෂිත කර ඇති අතර එය සීමා කළ හැක්කේ අතිශය සීමිත අවස්ථාවලදී පමණක් බවය.
පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම යනු කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම නොවන බවත්, රිමාන්ඩ් භාරයට පත් කිරීම දඬුවමක් නොවිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
තම සේවාදායකයා කිසිදු විමර්ශනයකට කැඳවා නොමැති අතර ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
එසේ තිබියදී කිසිදු පදනමකින් තොරව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ලබාගෙන ඔහුගේ නිදහස සීමා කර ඇති බවට හෙතෙම චෝදනා කළේය.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගතහොත් ඇප ලබාගැනීමේ නිදහස අහිමි වන බැවින් පෙත්සම්කරු අධිකරණය හමුවට පැමිණි බවද ඔහු සඳහන් කළේය.
විමර්ශන කොමිෂන් වාර්තාව
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා, පාස්කු ප්රහාරය සෙවීමට පත් කළ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් යුත් පරීක්ෂණ කොමිසම දින 214 ක් තිස්සේ පුද්ගලයන් 257 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඉදිරිපත් කළ වෙළුම් හයකින් යුත් වාර්තාවේ කිසිදු ස්ථානයක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව සඳහන්ව නොමැති බව අවධාරණය කළේය.
ශානි අබේසේකරට චෝදනා
එසේම 2018 වසරේ මාවනැල්ලේ බුදු පිළිමවලට ප්රහාර එල්ල කිරීමේ සිද්ධිය පිටුපස විදේශීය ත්රස්ත සංවිධානයක මැදිහත්වීමක් ඇති බව හෙළිව තිබියදීත්, ජාත්යන්තර පොලිසියේ සහය ගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කිරීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතා නොසැලකිලිමත් ලෙස කටයුතු කළ බවට ඔහු චෝදනා කළේය.
එවැනි පුද්ගලයකු වර්තමානයේ සී.අයි.ඩී. අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරමින් පාස්කු ප්රහාර විමර්ශනය මෙහෙයවීම ගැටලු සහගත බවත්, ඔහු විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස කරන ඉල්ලීම් හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව ද අසරණ වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
නීතිපති දෙපාර්තමේන්තුව
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂී හේරත් මහත්මිය එම ප්රකාශයට දැඩි විරෝධය පළ කළාය.
ඇය කියා සිටියේ ජනාධිපති නීතිඥවරයා නීතිපති දෙපාර්තමේන්තුව 'රූකඩයක්' ලෙස හැඳින්වීමට උත්සාහ කරන බවත්, මෙය හුදෙක් මාධ්ය ඉලක්ක කරගෙන සිදු කරන ප්රකාශයක් බවත්ය.
කෙසේ වෙතත් තමා නීතිපතිවරයාට චෝදනා නොකරන බවත්, දෙපාර්තමේන්තුව පත්ව ඇති තත්ත්වය පමණක් පෙන්වා දුන් බවත් පවසමින් රොමේෂ් ද සිල්වා මහතා එම චෝදනාව ප්රතික්ෂේප කළේය.
Comments
Moderated before publishing. Your email stays private.