ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිර දඬුවම ක්රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනුකළ මෝසම අද (29) කැඳවූ අවස්ථාවේදී, උන්වහන්සේව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
පොලිස්පතිවරයා මාර්ගයෙන් අදාළ වරෙන්තුව ක්රියාත්මක කරන ලෙසත්, ලබන ඔක්තෝබර් මස 1 වැනිදා විත්තිකාර ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අභියාචනාධිකරණය නියෝග කළේය.
අධිකරණය හමුවේ කරුණු දැක්වීම
මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම මෝසම කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා සඳහන් කළේ සිය සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් විවේක ගන්නා බවය.
මෙම මෝසම පිළිබඳව අධ්යයනය කර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
වරෙන්තු නිකුත් කිරීමේ නියෝගය
එහෙත් ඊට කරුණු දක්වමින් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා සඳහන් කළේ මෙය අපරාධ නඩුවක් බවය.
එබැවින් විත්තිකරු අධිකරණයට නොපැමිණෙන්නේ නම් වරෙන්තු නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙලෙස වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.
Comments
Moderated before publishing. Your email stays private.