කොළඹ වරායේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද රජයෙන් ඩොලර් මිලියන 15ක මූල්ය සහායක් ලබා දීමට නියමිත බව ඇමරිකා එක්සත් ජනපද ෆෙඩරල් නාවික කොමිසමේ සභාපති ලෝරා ඩිබෙල්ලා මහත්මිය ප්රකාශ කරයි.
බලශක්ති, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්ය අනුර කරුණාතිලක මහතා සමඟ අමාත්යාංශ පරිශ්රයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.
ඇමරිකානු මූල්ය සහාය සහ කොංග්රස් අනුමැතිය
ඩිබෙල්ලා මහත්මිය ප්රමුඛ නියෝජිත පිරිස පෙන්වා දුන්නේ මෙම ඩොලර් මිලියන 15ක මූල්ය සහාය ලබා දීම සඳහා ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය දැනටමත් හිමිව ඇති බවය. ඉදිරි සති කිහිපය තුළදී ඇමරිකානු කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය ලද විගස එය නිල වශයෙන් ප්රකාශයට පත්කිරීමට නියමිතය.
මෙම මූල්ය ප්රතිපාදන හරහා කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වේගවත් කිරීම සහ නෞකා රැඳී සිටින කාලය අවම කිරීම අපේක්ෂා කෙරේ.
කොළඹ වරාය ඇමරිකා එක්සත් ජනපදයට සම්බන්ධ භාණ්ඩ ප්රවාහනය සඳහාද ඉතා වැදගත් කේන්ද්රස්ථානයක් වන බැවින්, එහි සංවර්ධනයට අවශ්ය උපරිම සහාය ලබා දීමට සූදානම් බවද නියෝජිත පිරිස අවධාරණය කළහ.
වරාය සංවර්ධනය සහ නියාමන ප්රතිසංස්කරණ
සාකච්ඡාවේදී අමාත්ය අනුර කරුණාතිලක මහතා පෙන්වා දුන්නේ කොළඹ වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ඩිජිටල්කරණය වේගවත් කිරීම සහ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ජාත්යන්තර සහයෝගය ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවය.
එමෙන්ම සමුද්රීය ක්ෂේත්රයේ තොරතුරු නියාමන කටයුතු සහ ආයතනික කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා Merchant Shipping Secretariat ආයතනය වඩාත් බලවත් අධිකාරියක් බවට පත්කිරීමේ ක්රියාවලියක් අරඹා ඇති බවද අමාත්යවරයා පැවසීය.
තවද දෙවැනි බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා දියකඩන පද්ධතිය පුළුල් කිරීම අත්යාවශ්ය බැවින්, ඒ සඳහා මූල්ය ආයතනවල සහාය ලබා ගැනීමට රජය ක්රියා කරමින් සිටින බවද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විශේෂ නියෝජිත පිරිස සහ සමුළුව
1961 වසරේදී ආරම්භ වූ ෆෙඩරල් නාවික කොමිසම, ඇමරිකාවේ ජාත්යන්තර සාගර ප්රවාහන පද්ධතිය නියාමනය කරන ස්වාධීන ආයතනයකි. මෙම සාකච්ඡාව සඳහා එහි කොමසාරිස් රොබට් හාවි මහතා සහ අමාත්යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස් මංගල මහතාද එක්ව සිටියහ.
ලෝරා ඩිබෙල්ලා මහත්මිය සැප්තැම්බර් මස 09 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන 08 වැනි කොළඹ ජාත්යන්තර නාවික හා ලොජිස්ටික් සමුළුව ඇමතීමට නියමිත අතර කොමසාරිස් රොබට් හාවි මහතා එහි සාකච්ඡා මණ්ඩල සාමාජිකයෙකු ලෙස සහභාගී වීමට නියමිතව ඇත.
Comments
Moderated before publishing. Your email stays private.