Swipe left or right to navigate stories
කොළඹ, යාපනය සහ අනුරාධපුර වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට

කොළඹ, යාපනය සහ අනුරාධපුර වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට

ගෝලීය වායු තත්ත්ව නිරීක්ෂණ වේදිකාවක් වන 'අයි.කිව්.එයාර්' විසින් නිකුත් කළ තත්‍ය කාලීන දත්තවලට අනුව, අද (17) උදෑසන වන විට කොළඹ ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකම වාතයේ ගුණාත්මකභාවය “සෞඛ්‍යයට අහිතකර” මට්ටම දක්වා පිරිහී තිබේ.

පෙරවරු 08:30 වන විට එක්සත් ජනපද වායු තත්ත්ව දර්ශකයේ 185 ක අගයක් සටහන් කරමින් දිවයිනේ ඉහළම වායු දූෂණ මට්ටම කොළඹ නගරයෙන් වාර්තා වී ඇති අතර යාපනය (174) සහ අනුරාධපුරය (172) පිළිවෙළින් එහි මීළඟ ස්ථානවල පසුවෙයි.



මහජනතාවට නිකුත් කළ සෞඛ්‍ය නිර්දේශ

'අයි.කිව්.එයාර්' හි පැයකින් පැයකට නිකුත් කෙරෙන පුරෝකථනයන්ට අනුව කොළඹ නගරයේ පවතින මෙම සෞඛ්‍යයට අහිතකර වායු තත්ත්වය අද දහවල් වන තෙක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව එළිමහනේ ව්‍යායාම කිරීමෙන් සහ අනවශ්‍ය ලෙස ගැවසීමෙන් වැළකීමෙන්ද, පිටතට යාමේදී මුඛ ආවරණයක් පැළදීමෙන්ද සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස මහජනතාවට නිර්දේශ කර ඇත.

එක්සත් ජනපද 'අයි.කිව්.එයාර්' ශ්‍රේණිගත කිරීමට අනුව, 101ත් 150ත් අතර අගයන් කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිදන්ගත ශ්වසන හෝ හෘද රෝග ඇති පුද්ගලයින් වැනි සංවේදී කණ්ඩායම්වලට අවදානම් ඇති කරන අතර 150 ඉක්මවූ කියවීම් සාමාන්‍ය මහජනතාවට ද ඍණාත්මක සෞඛ්‍ය බලපෑම් ඇති කරයි.



කලාපීය තත්ත්වය සහ ඉන්දීය නගරවල වායු දූෂණය

ශ්‍රී ලංකාවට සමගාමීව ඉන්දියාවේ නගර කිහිපයකින් ද අද උදෑසන ඉතා ඉහළ වායු දූෂණ අගයන් වාර්තා වී තිබේ. ඒ අනුව ඉන්දියාවේ කොල්කටා නගරය “ඉතා අහිතකර” මට්ටමේ 256 ක ඒ්.කිව්.අයි අගයක් දක්වා ළඟා වී ඇති අතර ගුරුග්‍රාම් (178) සහ මුම්බායි (172) යන නගර ද “අහිතකර” වායු තත්ත්වයන් සටහන් කර ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem