කොළඹ නගරයේ සංචාරක ස්ථාන, ආපනශාලා, විනෝදාස්වාද මධ්යස්ථාන, සාප්පු සංකීර්ණ සහ සංස්කෘතික ආකර්ෂණ එකම ඩිජිටල් යෙදවුමක් (App) ඔස්සේ එකිනෙකට සම්බන්ධ කරන 'Colombo Connect' වැඩසටහන PickMe ආයතනය විසින් ඊයේ (5) නිල වශයෙන් එළිදක්වන ලදි.
කොළඹ නගරයේ සංකේතාත්මක සලකුණ වන නෙළුම් කුළුණ මෙම වැඩසටහනේ පළමු හවුල්කරු ලෙස එක්ව සිටින අතර කොළඹ නගරය ගවේෂණය කිරීමේ ආරම්භක ස්ථානය ලෙසද එය නම් කර තිබේ.
ඉදිරියේදී නගරය පුරා පිහිටි සංචාරක, සංස්කෘතික, විනෝදාස්වාද සහ වෙළෙඳ ආකර්ෂණ රැසක් මෙම පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය.
විශාල ආර්ථික දායකත්වයක්
මෙම වැඩසටහන සම්පූර්ණයෙන් ක්රියාත්මක වූ පසු සංචාරක, ආපනශාලා, ප්රවාහන, වෙළෙඳ හා විනෝදාස්වාද ක්ෂේත්රවල වාර්ෂිකව රුපියල් බිලියන 30කට අධික ආර්ථික ක්රියාකාරකම් උපදවීමට හැකි වනු ඇතැයි PickMe ආයතනය ඇස්තමේන්තු කරයි.
මෙහිදී අදහස් දක්වමින් PickMe ප්රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා සඳහන් කළේ කොළඹ නගරයේ සියලු සංචාරක හා විනෝදාස්වාද අංග පැවතුණද, ඒවා එකිනෙකට සම්බන්ධ කර හඳුන්වා දෙන ක්රමවේදයක් මෙතෙක් නොතිබූ බවය.
"අද කොළඹ හැම තැනක්ම වෙන වෙනමයි ප්රවර්ධනය කෙරෙන්නේ. නෙළුම් කුළුණ, කෞතුකාගාර, ආපනශාලා, උත්සව සහ විනෝදාස්වාද ස්ථාන එක් එක් ආකාරයට ප්රවර්ධනය වන නිසා සංචාරකයන්ට නගරයේ සම්පූර්ණ අත්දැකීම ලැබෙන්නේ නැහැ. 'Colombo Connect' හි සංකල්පය වන්නේ ඒ සියල්ල එකට සම්බන්ධ කර කොළඹ නගරය එකම ගමනාන්තයක් ලෙස හඳුන්වා දීමයි." යැයි සුල්ෆර් මහතා පැවසීය.
නව මුහුණුවරක්
විශේෂ අවස්ථා සඳහා ප්රවේශපත් වෙන්කර ගැනීම වෙනුවෙන් හඳුන්වා දී තිබූ 'PickMe Events' සේවාව, 'PickMe Explore' ලෙස නව මුහුණුවරකින් එළිදැක්වීමද මෙම උත්සවයේ විශේෂාංගයක් විය.
උත්සව පමණක් නොව ශ්රී ලංකාව පුරා සංචාරක ස්ථාන සහ විවිධ අත්දැකීම් එකම යෙදුමක් ඔස්සේ ජනතාව වෙත සමීප කරන රට පුරා ක්රියාත්මක සේවාවක් ලෙස එය වර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
මේ වන විට 'PickMe Explore' හරහා නෙළුම් කුළුණේ ප්රවේශපත් මිලදී ගැනීමටත්, QR කේතයක් භාවිතයෙන් ඇතුළු වීමටත් පහසුකම් සලසා තිබේ. එමෙන්ම නෙළුම් කුළුණේ නැරඹුම් මහල මෙන්ම දකුණු ආසියාවේ ප්රථම අන්තර් ක්රියාකාරී ඩිජිටල් කලා කෞතුකාගාරය වන 'Pixel Bloom' සඳහාද PickMe යෙදුම හරහා ප්රවේශපත් ලබාගත හැක.
Comments
Moderated before publishing. Your email stays private.