2015 ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් ප්‍රතිපාදන අවභාවිත කරමින් දේශපාලන කටයුතු සඳහා GI බට මිලදී ගෙන රජයට පාඩු සිදුකළ බවට චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 19 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා හමුවේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
විත්තිකරුවන් තිදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා ඇති මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ නම් කර තිබේ.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම විත්තිකරුවන් තිදෙනාම විවෘත අධිකරණයේ පෙනී සිටියහ.
නඩුවට පාදක වූ චෝදනාව
2015 වසරේ පැවති ජනාධිපතිවරණ ව්‍යාපාරය අතරතුර කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, රූපවාහිනි සංස්ථාවේ අරමුදල්වලින් රුපියල් 990,000ක (ලක්ෂ දහයකට ආසන්න) මුදලක් යොදවා දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට 600ක් මිලදී ගෙන තිබේ.
එම ක්‍රියාව මඟින් රජයට අයුතු මූල්‍ය අලාභයක් සිදුකළ බවට සාක්ෂි සහිතව කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් මොවුන්ට එරෙහිව මෙම නඩුකරය ගොනු කර ඇත.
Comments
Moderated before publishing. Your email stays private.