දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වන ශ්රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්, දැඩි කලකිරීමෙන් යුතුව ක්රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ. අද (22) ක්රීඩාවෙන් සමුගැනීම ප්රකාශයට පත්කරන විට ඔහු 31 වැනි වියේ පසුවිය.
යුපුන් දැනට පිරිමි මීටර් 100 (තත්පර 9.96) සහ මීටර් 200 (තත්පර 20.37) ඉසව්වල දකුණු ආසියානු වාර්තාවන්ට හිමිකම් කියන අතර පිරිමි මීටර් 60 (තත්පර 6.59) ඉසව්වේ ජාතික වාර්තාවටද හිමිකම් කියයි. ඩයමන්ඩ් ලීග් අවසන් මහ තරගාවලි දෙකකට සහභාගි වූ එකම ශ්රී ලාංකික ක්රීඩකයා වන්නේද ඔහුය.
එමෙන්ම දකුණු ආසියානු කලාපයේ පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් නිමා කළ එකම ක්රීඩකයාද වන යුපුන්, 2022 වසරේදී වසර 24 කට පසුව පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලකදී මලල ක්රීඩාවෙන් පදක්කමක් දිනාගත් පළමු ශ්රී ලාංකිකයා බවට පත්වීමටද සමත් විය.
කලකිරීම් සහගත සිදුවීම්
2023 වසරට පෙර තමා දස්කම් අතර සිටියදී ක්රීඩා අමාත්යංශය සහ මලල ක්රීඩා බලධාරීන් ඔහු පිළිබඳව සොයා බලමින් ඔහුගේ පුහුණුවීම් සහ තරග සඳහා වියදම් කිරීමට ඉදිරිපත් වූ නමුත් ආබාධයන්ට ලක්වීමත් සමග ඒ සියල්ල කණපිට පෙරලුණු බව සමුගැනීමෙන් පසුව මාධ්ය හමුවක් කැඳවමින් කියා සිටියේය.
එහිදී ඔහු කියා සිටියේ ඔහුට තවත් වසරක් හෝ දෙකක් ක්රීඩා කිරීමට හැකියාව තිබුණද, එළබෙන පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලට සහ 2028 වසරේදී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට පෙරාතුවම ක්රීඩාවෙන් සමුගැනීමට තීරණය කළේ මෙරට ක්රීඩා බලධාරීන්ගෙන් ප්රමාණවත් තරම් සහයෝගයක් නොලැබීම හේතුවෙන් බවය.
සාමාන්යයෙන් පුහුණුවීම් සහ පෝෂණ ද්රව්ය හැරුණු කොට එක් තරග වාරයක් තුළ තරග වැදීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 25 ක පමණ මුදලක් වැවුණද, ක්රීඩා අමාත්යංශයෙන් ඔහුට ලබාදීමට හැකි බව ප්රකාශ කර තිබුණේ රුපියල් දෙලක්ෂ විසි දහසක් පමණක් බවය.
මීටර් 100 ඉසව්වට යොමු වීම
පන්නල ජාතික පාසලෙන් ක්රීඩාවට පිවිසි යුපුන්, සාමාන්ය පෙළ විභාගයෙන් පසුව වෙන්නප්පුව ෂෝෂප් වාස් විදුහලට ඇතුළත් වූ අතර 2013 වසරේ ඉන්දියාවේ රාංචි නුවර පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්රීඩා තරගාවලිය ඔහුගේ පළමු ජාත්යන්තර අත්දැකීම විය.
පළමු ජාත්යන්තර තරගාවලියේදී තුන් පිම්ම ඉසව්වෙන් ශ්රී ලංකාව නියෝජනය කළ ඔහු, පසුව කෙටි දුර ධාවන ඉසව් වෙත යොමු විය. කෙටි දුර ධාවකයෙකු ලෙස ඔහුගේ පළමු ජාත්යන්තර තරගාවලිය වූයේ 2015 වසරේ දකුණු කොරියාවේ පැවැති ලෝක හමුදා ක්රීඩා උළෙලය.
2019 වසරේදී ඔහු ඉතාලි ජාතික හිටපු මීටර් 400 ධාවකයෙකු සහ ඔලිම්පික් ක්රීඩකයෙකු වූ ක්ලෝඩියෝ ලිචියාර්ඩෙලෝ යටතේ ඉතාලියේදී පුහුණුවීම් ආරම්භ කළ අතර එමඟින් ඔහුගේ කාලයන්හි කැපී පෙනෙන වර්ධනයක් සිදුවිය.
ඔලිම්පික් සුදුසුකම් ලැබීම
2020 වසරේදී ජර්මනියේ ඩෙසෝ නුවර පැවැති තරගයකදී තත්පර 10.16 ක කාලයක් වාර්තා කරමින් පිරිමි මීටර් 100 ඉසව්වේ ජාතික සහ දකුණු ආසියානු වාර්තා බිඳ හෙළීමට යුපුන් සමත් විය.
2021 වසරේදී ඉතාලියේ සවෝනාහි පැවැති තරගයකදී තත්පර 10.13 ක කාලයක් වාර්තා කරමින් වයිල්ඩ් කාර්ඩ් ප්රවේශයකින් තොරව පරිසාදන මට්ටම සපුරාලමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වට සුදුසුකම් ලැබීමට ඔහුට හැකි විය.
ඒ අනුව 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙල නියෝජනය කළ චින්තක ද සොයිසාගෙන් පසුව වසර 25 කට පසු ඔලිම්පික් උළෙලක පිරිමි මීටර් 100 ඉසව්වට තරග කළ පළමු ශ්රී ලාංකික කෙටි දුර ධාවකයා බවට අබේකෝන් පත්විය. එහිදී ඔහු තත්පර 10.32 ක කාලයකින් මූලික වටයේ තෙවැනි තරගයේ 6 වැනි ස්ථානයට පත්වූ අතර අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.
ජයග්රාහී 2022 වසර
ඔහුගේ ක්රීඩා දිවියේ අමතක නොවන වසර වූයේ 2022 වසරය. එහිදී නැවතත් ජර්මනියේ ඩෙසෝ වෙත පැමිණි යුපුන් තත්පර 10.04 කින් යළිත් ජාතික අලුත් කළේය.
ඉන් පසු සතියේදීම ඉතාලියේ ග්රොසෙටෝහි පැවැති තරගයකදී පිරිමි මීටර් 200 ඉසව්වෙන් තත්පර 20.37ක කාලයක් වාර්තා කරමින් 2018 වසරේදී විනෝජ් සංජය තබා තිබූ ජාතික වාර්තාව (තත්පර 20.68) බිඳ හෙලීමටද යුපුන් සමත් විය.
මාස දෙකකට පසුව පිරිමි මීටර් 100 ඉසව්වෙන් තත්පර 9.96ක ඓතිහාසික කාලයක් වාර්තා කරමින් මීටර් 100 තත්පර 10 ට අඩුවෙන් නිම කළ කලාපයේ එකම සහ ප්රථම ක්රීඩකයා ලෙස දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත් විය. එම වාර්තාව තවමත් බිඳහෙළීමට කිසිවෙකුට හැකිවී නැත.
ඔහුගේ ක්රීඩා දිවියේ ස්වර්ණමය මොහොත උදාවූයේ එම වසරේ අගෝස්තු මාසයේදීය. එහිදී කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඕමන්යාලා සහ දකුණු අප්රිකාවේ අකානි සිම්බිනේට පසුව තෙවැන්නා ලෙස තරගය නිමා කරමින්, වසර 24කට පසු බර්මින්හැම් පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලකදී මලල ක්රීඩාවෙන් ලෝකඩ පදක්කමක් ශ්රී ලංකාවට දිනා දීමට ඔහු සමත් විය.
තවද ඇමරිකාවේ ඔරිගන්හි පැවැති 2022 ලෝක මලල ක්රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ඔහු, 2009 බර්ලින් ශූරතාවලියට ෂෙහාන් අම්බේපිටිය සහභාගී වීමෙන් පසු ලෝක ශූරතාවලියකට සහභාගි වූ පළමු ශ්රී ලාංකික කෙටි දුර ධාවකයා බවටද පත්විය.
ආබාධ සහ අවසන් සමය
2023 වසරේදී කලව සහ උකුල ආශ්රිත ආබාධ හේතුවෙන් ඔහුගේ තරගකාරීත්වයට බාධා ඇති වූ අතර 2024 වසරේදී නැවත තරග බිමට පිවිසියත් ඔහුට සිය උපරිම දක්ෂතාවලට ළඟාවීමට නොහැකි විය.
කෙසේ වෙතත් 2025 තරග වාරයට ප්රබල ලෙස අවතීර්ණ වූ යුපුන්, ඉතාලියේ පැවැති පිරිමි මීටර් 60 ඉසව්වෙන් තත්පර 6.68ක කාලයක් වාර්තා කළේය. එය ඔහු 2021දී තැබූ ජාතික වාර්තාවට තත්පර 0.09ක් පමණක් පසුපසින් වූ අතර ඉන්පසු ජාත්යන්තර තරග කිහිපයකදීම මීටර් 100 ඉසව්ව නියෝජනය කළේය.
ඉකුත් අගෝස්තු මාසයේ ඉතාලියේ පැවැති ‘සෙස්ට්රියර් ඉන්ටනැෂිනල්‘ තරගාවලිය ඔහු ශ්රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ අවසන් තරගාවලිය විය. එහිදී ඔහු තත්පර 10.72 ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගයේ 6 වැනි ස්ථානයට පත්වූ අතර එය ශ්රී ලංකාව වෙනුවෙන් ඔහු සහභාගි වූ අවසන් තරගය බවටද පත්විය.
සමුගැනීමේ පණිවිඩය
ෆේස්බුක් සටහනක් ඔස්සේ සිය සමුගැනීමේ පණිවිඩය නිකුත් කරමින් අබේකෝන් සඳහන් කළේ, "වසර ගණනාවක කැපකිරීම්, අමතක නොවන ජයග්රහණ, වේදනාකාරී පරාජයන් සහ සදාකාලයටම රැගෙන යන මතකයන්ගෙන් පසුව, ධාවන පථයෙන් ඉවත් වීමට කාලය පැමිණ තිබේ" යනුවෙනි.
"මා මගේ රටට කිසිවක් ණය නැතිව, නමුත් මාව විශ්වාස කළ, මට මඟ පෙන්වූ සහ අද මා සිටින තත්ත්වයට පැමිණීමට උපකාර කළ ලෝකයට සදා ණයගැතිව මම ක්රීඩාවෙන් සමුගන්නවා" යැයිද අබේකෝන් සිය ප්රකාශයෙන් වැඩිදුරටත් පැවසීය.
තමන් හදිසියේම සමුගැනීමට තීරණය කළේ මන්දැයි යන්න පිළිබඳව සිය ෆේස්බුක් සටහනේ කිසිවක් සඳහන් නොකළ ඔහු, මෙය "මගේ කතාවේ අවසානය නොවන බවත්, මෙය හුදෙක් නව පරිච්ඡේදයක ආරම්භයක් පමණක්" බවත් සඳහන් කළේය.
Comments
Moderated before publishing. Your email stays private.