එංගලන්තයේ ලීඩ්ස් ක්රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්යන්තර ක්රිකට් තරගයෙන් එංගලන්තයට එරෙහිව ලකුණු 16 ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකාව ඊයේ (24) සමත් විය.
මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කිරීමටද ශ්රී ලංකා ක්රීඩකයන්ට හැකි වූහ.
අගනා ශතකයක්ද ලබාගනිමින් ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය කරා මෙහෙයවූ නායක කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
ශ්රී ලංකා ඉනිම
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකාව ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 321 ක් ලබා ගත්තේය.
එහිදී විශිෂ්ට ශතකයක් ලබාගත් නායක කුසල් මෙන්ඩිස් පන්දු 100 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 121 ක් රැස්කළේය.
කමිඳු මෙන්ඩිස් (54) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 120 කදී ලකුණු 137 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමටද කුසල් සමත් විය.
එංගලන්ත ඉනිම
ජයග්රහණය සඳහා ලකුණු 322 ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 305 ක් පමණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ දූනිත් වෙල්ලාලගේ එංගලන්ත නායක හැරී බෲක්ගේ කඩුල්ලද සමග ලකුණු 49 කට කඩුල 3 ක් බිඳහෙළීමට සමත් විය.
එංගලන්ත කණ්ඩායමේ ජයග්රාහී මාවත අවහිර කිරීම සඳහා දුනිත්ට අනගි සහායක් දුන් ඒෂාන් මාලිංග සහ ඩිල්ෂාන් මධුෂංක කඩුලු 2 බැගින් දවාගත්හ.
දෙරට අතර පැවැත්වෙන තීර්ණාත්මක තෙවැනි සහ අවසන් එක්දින ජාත්යන්තර තරගය අනිද්දා (27) ඕවල් ක්රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතය.
ලකුණු සාරාංශය
ශ්රී ලංකාව - ඕවර 50 කදී කඩුලු 6 කට 321
(පැතුම් නිස්සංක 25, කමිඳු මෙන්ඩිස් 54, කුසල් මෙන්ඩිස් 121, පවන් රත්නායක 48, ජනිත් ලියනගේ 32, දුනිත් වෙල්ලාලගේ නොදැවී 16, රෙහාන් අහමඩ් 46/2, ගුස් ඇට්කින්සන් 55/2)
එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 9 කට 305
(ටොම් බැන්ටන් 73, බෙන් ඩකට් 63, ජෝ රූට් 15, ජොස් බට්ලර් 69, විල් ජැක්ස් 52, ගුස් ඇට්කිකිසන් 16, දුනිත් වෙල්ලාලගේ 49/3, ඒෂාන් මාලිංග 50/2, ඩිල්ෂාන් මධුෂංක 54/2)
Comments
Moderated before publishing. Your email stays private.