මෙරට ජාතික ක්‍රීඩා සංගම් 3ක කටයුතු සම්බන්ධයෙන් විශේෂ නියෝග නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පසුගියදා අතිවිශේෂ ගැසට් නිවේදන කිහිපයක් නිකුත් කර තිබේ.
ඒ අනුව වසර කිහිපයක් තිස්සේ අක්‍රියව පැවැති ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය නැවත බලගැන්වීම සඳහා නව පරිවර්තනීය කමිටුවක් පත් කර ඇති අතර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
පාපැදි, බැඩ්මින්ටන් සහ මෝටර් රථ ක්‍රීඩා සංගම් සඳහා ගත් පියවර
වසර ගණනාවක් අක්‍රියව තිබූ පාපැදි සම්මේලනය යළි ස්ථාපනය කිරීමට 2025 අගෝස්තු 21 වැනිදා නිකුත් කළ අංක 2450/42 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් ඒ් සඳහා නව පරිවර්තනීය කමිටුවක් පත් කර තිබේ.
නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම, සම්මේලනයේ සිදුවී ඇතැයි කියන වංචා හා දූෂණ විමර්ශනය කිරීම, සුදුසුකම් ලත් සාමාජිකයින් ලියාපදිංචි කිරීම සහ මහ සභා රැස්වීම් කැඳවීම එම කමිටුවට පැවරී ඇති ප්‍රධාන වගකීම් වේ.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ඇති අතර එහි ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහාද පරිවර්තනීය කමිටුවක් පත් කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචියද තාවකාලිකව අත්හිටුවා ඇති අතර ඔක්තෝබර් 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සංගමයේ කටයුතු පාලනය කිරීම සහ කළමනාකරණය කිරීමේ නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා පත් කර ඇත.
එම සංගමයේ ව්‍යවස්ථා සංශෝධනය සහ නව නිලධාරීන් පත් කර ගැනීමේ නිලවරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමේ බලයද ලේකම්වරයා වෙත හිමි වේ.
පාපැදි නව පරිවර්තනීය කමිටුව:
අනුර මහාආරච්චිගේ (සභාපති)
රියර් අද්මිරාල් (විශ්‍රාමික) රංජිත් චන්ද්‍රසේකර
උපාලි රත්නායක
කුසලානී වික්‍රමරත්න
බැඩ්මින්ටන් නව පරිවර්තනීය කමිටුව:
එම්.එච්.එස්.එස්. කුසුම් කුමාර (සභාපති)
නිලූක කරුණාරත්න
මිලින්ද සූරියාඅරච්චි
ස්වදේශ් රන්දික ද සිල්වා
සමන් ශ්‍රී ලාල්
පසුගිය සමයේ ක්‍රීඩා සංගම් කෙරෙහි ගත් අනෙකුත් තීරණ
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෑතකදී ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය මෙන්ම ශ්‍රී ලංකා කරාටේ-දෝ සම්මේලනයේද ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින්, ඒවායේ පාලනය ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පැවරීමට කටයුතු කළේය.
එමෙන්ම පසුගිය අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන්ද ක්‍රියාත්මක වන්නේ පරිවර්තනීය කමිටුවකි.
මේ අතර කබඩි අතුරු කමිටුව වෙනුවට ශ්‍රී ලංකා කබඩි සම්මේලනය යළි ස්ථාපිත කර 2026-28 වසර සඳහා නිලවරණය පැවැත්වූවද, පත්වූ නව විධායක සභාවේ මතගැටුම් උත්සන්න වීම හේතුවෙන් එය මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග දක්වා ඇදී ගොස් තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.