මෙරට ක්‍රීඩා ක්ෂේත්රයේ යටිතල පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතියට නැංවීම සහ දීපව්‍යාප්ත ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම අරමුණු කරගනිමින්, 2027 අයවැය මඟින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 8.5ක දැවැන්ත මුදලක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.
අද (12) පාර්ලිමේන්තුවේදී 2027 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ කොළඹට පමණක් සීමා නොවී ප්‍රාදේශීය මට්ටමින්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා මෙම ප්‍රතිපාදන යොදවන බවය.
ටොරින්ටන් සහ දියගම ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක්
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීන ක්‍රීඩා විද්‍යාව, ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සහ මනෝවිද්‍යාත්මක සූදානම ලබාදීම වෙනුවෙන් ටොරින්ටන් සහ දියගම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අදියර දෙකකින් යුත් "ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක්" ස්ථාපිත කිරීම සඳහා මෙම අයවැයෙන් රුපියල් මිලියන 300ක් වෙන් කර ඇත.
එමෙන්ම තරුණ සහ වැඩිහිටි පුරවැසියන් අතර රට පුරා ක්‍රීඩා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තවත් රුපියල් බිලියන 2.5ක මුදලක් වෙන් කිරීමටද ජනාධිපතිවරයා යෝජනා කළේය.
සුගතදාස ක්‍රීඩාංගණයට බිලියන 1.5ක් – අනුරාධපුර ධාවන පථයට බිලියනයක්
ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණ නවීකරණය කිරීම යටතේ සුගතදාස ජාතික ගෘහස්ථ ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට සහ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කෘතිම ධාවන පථයක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් බිලියන 1.5ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
මීට අමතරව උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් ලබාදීමේ අරමුණින් ලබන වසරේ අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 400ක කෘතිම ධාවන පථයක් ඉදිකිරීම සඳහා මීට පෙර වෙන් කර තිබූ රුපියල් මිලියන 50ක ප්රතිපාදනය රුපියල් බිලියනයක් දක්වා ඉහළ නැංවීමටද රජය පියවර ගෙන ඇත.
Comments
Moderated before publishing. Your email stays private.