පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා දුන්නේ යැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් ක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂිකාවක වන ජානකී සිරිවර්ධන මහත්මිය ඔක්තෝබර් මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළේය.
අද (24) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් ප්රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
අල්ලස් චෝදනාව සහ විමර්ශන අනාවරණ
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ, අදාළ ක්රිෂ් සමාගම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්රාන්ස්වර්ක් චතුරස්රය නමැති භූමිය කඩිනමින් ලබාගැනීම සඳහා සහාය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ යන අය වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබා දී ඇති බවය.
සැකකාරිය විසින් අවස්ථා තුනකදී අදාළ මිලියන 70ක මුදල නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බවට චෝදනා එල්ල වී ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියහ.
නාමල් රාජපක්ෂගෙන් ප්රකාශයක් ලබා ගැනීමට අවසර
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම විමර්ශනයට අදාළව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්රකාශයක් සටහන් කර ගැනීමටද මහේස්ත්රාත්වරයා මෙහිදී බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරනු ලැබීය.
Comments
Moderated before publishing. Your email stays private.