ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායම්වල ක්රීඩක ක්රීඩිකාවන්ගෙන් බදු අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය හේතුවෙන් මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වයට, මෑතකදී පාර්ලිමේන්තුවට ගෙන එන ලද දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විසඳුමක් ලබාගැනීමට හැකිවේදැයි පැහැදිලි කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (5) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
තමන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් ඉල්ලා, ශ්රී ලංකා එක්දින හා ටෙස්ට් ක්රිකට් කණ්ඩායම්වල නායකයන් වූ ධනංජය ද සිල්වා, චරිත් අසලංක සහ ක්රීඩිකාවන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල මේ බව සඳහන් කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
දෙපාර්තමේන්තුවේ ස්ථාවරය
එහිදී අධිකරණය පෙන්වා දුන්නේ මෑතකදී දේශීය ආදායම් පනතට සිදුකළ සංශෝධනයට අනුව ස්වාධීන සේවා සපයන්නන් වෙනමම වර්ගීකරණය කර තිබෙන බවත්, එම පිරිසට පුද්ගලික අත්තිකාරම් බද්ද අදාළ නොවන බවට දක්වා තිබෙන බවත්ය.
එම තත්ත්වය යටතේ පෙත්සම්කරුවන්ගේ ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකියාවක් තිබේදැයි විනිසුරු මඩුල්ල, දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතාගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, අදාළ සංශෝධනය මෙම ගැටලුව නිරාකරණය කිරීමට උපයෝගී කරගත නොහැකි බවය. ජාතික තලයේ ක්රිකට් ක්රීඩකයන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත වී කටයුතු කරන පුද්ගලයින් බැවින් ඔවුන්ට මෙම ප්රතිපාදනය අදාළ නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
පෙත්සම්කාර පාර්ශ්වයේ තර්කය
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිශාන් සිඩ්නි ප්රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ දේශීය ආදායම් පනතට මෑතකදී සිදුකළ සංශෝධනය ක්රිකට් ක්රීඩකයින්ටද අදාළ වන බවය.
තම සේවාදායකයන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සේවකයන් නොවන බවත්, ඔවුන් ස්වාධීන සේවා සපයන්නන් ගණයට ඇතුළත් වන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙම බදු අර්බුදය හේතුවෙන් ක්රීඩකයින්ට ලැබිය යුතු ගෙවීම් අත්හිටුවා තිබෙන බවත්, මේ නිසා ඔවුන් දැඩි අපහසුතාවයන්ට මුහුණ දී සිටින බවත් නීතිඥ නිශාන් සිඩ්නි ප්රේමතිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තීන්දුව ප්රකාශයට පත්කරන දිනය
ලබාදුන් කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල, මෙම කරුණට අදාළ ලිඛිත දේශන හෝ සැලකිරීම් තිබේ නම් ඒවා සතියක කාලයක් තුළ ගොනු කරන ලෙස දෙපාර්ශ්වයටම නියෝග කළේය.
ඒ අනුව මෙම නඩුකරයට අදාළ තීන්දුව අගෝස්තු මස 31 වැනිදා ප්රකාශයට පත් කරන බවද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළේය.
Comments
Moderated before publishing. Your email stays private.