Swipe left or right to navigate stories
කඩවත මෙට්‍රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ඇරඹෙයි

කඩවත මෙට්‍රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ඇරඹෙයි

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ නව මෙට්‍රො බස් සේවාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද කඩවත මෙට්‍රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු අද (07) නිල වශයෙන් ආරම්භ කරන ලදී.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගමේ කළමනාකාරිත්වය ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම විවෘත කිරීම සිදුවිය.



කඩවත ඩිපෝව සහ පළමු අදියරේ සැලසුම්

මෙම දෙවැනි ඩිපෝ අංගනය ගම්පහ දිස්ත්‍රික්කයේ, මහර මැතිවරණ කොට්ඨාශයේ, කඩවත - ගණේමුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවට ආසන්නව ස්ථාපනය කර ඇත.

මෙට්‍රො බස් ව්‍යාපෘතියේ සේවා ධාරිතාව වැඩිකිරීම මෙන්ම පරිපාලන, මෙහෙයුම් හා නඩත්තු කටයුතු සඳහා පළමු අදියර යටතේ නව ඩිපෝ 4 ක් ඉදිකිරීමට ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම සැලසුම් කර තිබේ. ඒ යටතේ තලංගම, කඩවත, ඒකල සහ රත්මලාන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මේ වන විට මෙට්‍රො බස් රථ සේවාවේ ධාවන මාර්ග අංක 1 යටතේ මාකුඹුර සිට මහරගම හරහා කඩවත දක්වා සේවා ක්‍රියාත්මක වන අතර නව මෙට්‍රො බස් රථ 15 ක් යොදා ගනිමින් ප්‍රවාහන පහසුකම් ලබාදීම විධිමත් කිරීමට මෙම නව ඩිපෝ මධ්‍යස්ථාන පිහිටුවීමෙන් කටයුතු කරනු ලබයි.



රාජ්‍ය ප්‍රතිපාදන සහ ව්‍යාපෘති පසුබිම

මෙම නව මෙට්‍රො බස් ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි.

2025 අය-වැය මගින් තාක්ෂණික පහසුකම් සහිත බස්රථ හඳුන්වාදීම සහ ඩිජිටල් වේදිකාවක් මත සේවා ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ අතර මෙට්‍රො මෙහෙයුම් වෙනුවෙන් රජය විසින් 2026 වසරට රුපියල් මිලියන 800ක මූල්‍ය ප්‍රතිපාදන ද, 2027 වසරට රුපියල් මිලියන 267.5ක හිමිකම් ප්‍රාග්ධනයක් ද වෙන්කර ඇත.

ඩිපෝ ඉදිකිරීමට අමතරව බස් රථ නැවතුම්, ඒකාබද්ධ ගෙවීම් පද්ධති, රථගාල් ඇතුළු සේවාවන්හි සම්බන්ධතාව වැඩිදියුණු කිරීමද එහිදී සිදුකෙරේ.



අමාත්‍ය බිමල් රත්නායක මහතා

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ මෙට්‍රො බස් සේවාව මේ මාසය තුළ බස් රථ 122 ක් දක්වා වර්ධනය වන බවය. තවත් බස් රථ 50 ක් මිලදී ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර මේ වසර අවසන් වනවිට හෝ ලබන වසරේ මුලදී බස් රථ සංඛ්‍යාව 172 දක්වා වැඩි කිරීමට නියමිතය.

එමෙන්ම මෙම සේවාව බස්නාහිර පළාතෙන් ඔබ්බට ගාල්ල, මහනුවර සහ යාපනය ප්‍රදේශවලටත් ව්‍යාප්ත කරන බවත්, ඉදිරියේදී පෞද්ගලික අංශයට ද මෙට්‍රො ආයතනය සමග ගිවිසුම්ගතව සේවාවන් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

ලංගම සේවාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "ලංගම තමයි ලංකාවේ පොදු ප්‍රවාහනයේ පණ. ඒ සේවය වෙන කාටවත් කරන්නත් බෑ, කරන්නෙත් නෑ" යනුවෙන් සඳහන් කළ අතර මේ වසර අග වනවිට ලංගමයට අලුතින් වායු සමීකරණය කරන ලද බස් රථ 600 ක් ආනයනය කිරීමටත්, ලංගම මුදලින් තවත් බස් රථ 200 ක් ගෙනඒමටත් කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem