Swipe left or right to navigate stories
ඔලිම්පික් - ලෝක ශූරතා රන් පදක්කමට කෝටි 10ක ත්‍යාග මුදලක්

ඔලිම්පික් - ලෝක ශූරතා රන් පදක්කමට කෝටි 10ක ත්‍යාග මුදලක්

ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කරමින්, ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෝ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගන්නා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට රුපියල් මිලියන 100ක (කෝටි 10ක) දැවැන්ත මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට රජය තීරණය කර තිබේ.

අද (12) පාර්ලිමේන්තුවේදී 2027 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සුවිශේෂී නිවේදනය සිදු කළේය.



පොදුරාජ්‍ය මණ්ඩලීය, ආසියානු සහ සාර්ක් පදක්කම් සඳහාත් දැවැන්ත ත්‍යාග

ඔලිම්පික් සහ ලෝක ශූරතා පදක්කම්වලට අමතරව, සෙසු ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලවලදී රන් පදක්කම් දිනාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පිරිනැමෙන ඇගයීම් දීමනාද අයවැය මඟින් පහත පරිදි ප්‍රකාශයට පත් කෙරිණි.



* පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් සඳහා: රුපියල් මිලියන 75ක්
* ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් සඳහා: රුපියල් මිලියන 50ක්
* සාර්ක් (SAARC) ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් සඳහා: රුපියල් මිලියන 15ක්

තවද මෙම සියලු තරගාවලිවලදී රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හටද ඊට සමානුපාතිකව ඉහළ මූල්‍ය ත්‍යාග පිරිනැමීමට රජය පියවර ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.



යොවුන් ක්‍රීඩකයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට රාජ්‍ය ව්‍යවසායන්හි රැකියා

පාසල් වියෙන් පසු ක්‍රීඩාව අතහැර දැමීමට සිදුවන තත්ත්වය වැළැක්වීම සඳහා, ජාතික තලයේ දක්ෂතා දක්වන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ක්‍රීඩා අනුග්‍රාහකත්වයන්ද සහිතව ප්‍රධාන රාජ්‍ය සංස්ථා සහ ව්‍යවසායන්හි රැකියා අවස්ථා ලබාදීමට රජය ප්‍රතිඥා දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන වෙත ඔවුන් බඳවා ගැනීමට නියමිතය.

ඊට සමගාමීව දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය පහසු කිරීමට සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා පුළුල් කිරීමටද රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem