එල්නිනෝ තත්ත්වය හේතුවෙන් පවතින දැඩි වියළි කාලගුණික බලපෑම නිසා දිස්ත්රික්ක 7 ක පවුල් 35,169 කට අයත් පුද්ගලයන් 115,566 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.
මේ හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව 34% ක පමණ පහළ මට්ටමකට සීඝ්රයෙන් ඇද වැටී ඇති බව ජල විද්යා හා ආපදා කළමනාකරණ වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු එස්. සූරියබණ්ඩාර මහතා ප්රකාශ කළේය.
කෙසේ වෙතත් මාදුරුඔය ප්රදේශයට මිලිමීටර 100 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර එය යහපත් තත්ත්වයක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
පානීය ජල හිඟය සහ සහන සැලසීම
පීඩාවට පත් පවුල් අතුරින් පවුල් 34,628 කට මේ වන විටත් බවුසර් මගින් පානීය ජලය බෙදාහැරීම ආරම්භ කර තිබේ.
එල්නිනෝ තත්ත්වයට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස පොළොන්නරුව දිස්ත්රික්කයේ සියලුම පළාත් පාලන ආයතන සඳහා ලීටර් 1000 ක් ගබඩා කළ හැකි ජල ටැංකි ලබාදීම සිදු කර ඇති අතර හිඟුරක්ගොඩ ප්රාදේශීය සභාවට ලැබී ඇති ජල ටැංකි 40 ජල හිඟ ග්රාම නිලධාරී වසම්වල ස්ථාපිත කර ජලය බෙදාහැරීමට නියමිතය.
වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් යළි ඉල්ලීමක් කර සිටියි.
කෘෂිකර්මාන්තයට එල්ල වී ඇති බලපෑම
පවතින වියළි කාලගුණය හේතුවෙන් මිහින්තලය ප්රදේශයේ කටුකෑලියාව වැව, ඇතා වැටුණු වැව සහ ගිනිගල් වැව ඇතුළු කුඩා වැව් සියල්ලම සිඳීගොස් ඇති අතර එමගින් ගොවි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
එමෙන්ම මැදිරිගිරිය ප්රදේශයේ බේබියාවැව සිඳීයාම නිසා ගොඩබෝග වගාවන් අත්හැරීමට සිදුව ඇති අතර වම්බටු වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
මීට අමතරව එල්නිනෝ තත්ත්වය හේතුවෙන් වන අලින් ගම්වැදීමේ ප්රවණතාව ඉහළ ගොස් ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි. වියළි කාලගුණය නිසා මුහුදු ජීවීන්ටද බලපෑම් එල්ල වී ඇති බව වනජීවී නිලධාරීන් පෙන්වා දෙයි.
කාලගුණික තත්ත්වය සහ ඉදිරි වැසි
උතුරු මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිළිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් දැඩි වියළි කාලගුණයක් පවතින ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Moderated before publishing. Your email stays private.