Swipe left or right to navigate stories
එංගලන්තයේ බලාපොරොත්තු බිඳදමමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පාකිස්තානය පරාජය කරති

එංගලන්තයේ බලාපොරොත්තු බිඳදමමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පාකිස්තානය පරාජය කරති

ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ 5 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලාහෝර් නුවර අද (27) පැවැති තරගයේදී පාකිස්තානයට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

මෙම ජයග්‍රහණය හේතුවෙන් පාකිස්තානය සමග තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර එංගලන්තයට තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් මහ තරගයට පිවිසීමේ බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුවිය.



ශ්‍රී ලංකා ඉනිම

ජයග්‍රහණය සඳහා ලකුණු 111 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 18.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. 18 වැනි ඕවරයේ පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කළ පවන් රත්නායක ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළේය.

ඉතා ඉවසිමත් පිතිහරඹයක නිරත වූ කමිඳු මෙන්ඩිස් පන්දු 60 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 62 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවාය.

ආරම්භක කඩුල්ල වෙනුවෙන් අවිෂ්ක ප්‍රනාන්දු (16) සමග එක්ව පන්දු 41 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කමිඳු, ඉන් නොනැවතී පවන් රත්නායක (නොදැවී 23) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 52 ක නොබිඳුණු සම්බන්ධතාවක්ද ගොඩන‍‍ඟමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පාකිස්තා ඉනිම

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 110 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූ අතර තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් ඩිල්ෂාන් මධුෂංක, ඕවර 8.3 ක් යවමින් ලකුණු 34 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය.

එය ඔහුගේ හොඳම එක්දින පන්දු යැවීම ලෙසද සටහන් වූ අතර මේ දක්වා එක්දින තරග 34 කදී කඩුලු 61 ක් දවාගෙන ඇති ඔහු, තරගයකදී කඩුලු 5 ක් දවාගත් දෙවැනි අවස්ථාවද මෙය විය.

පාකිස්තාන ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඩිල්ෂාන්ට අනගි සහායක් දුන් සහන් ආරච්චිගේ ලකුණු 24 කට කඩුලු 2 ක්ද, අසිත ප්‍රනාන්දු, ඒෂාන් මාලිංග සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.



ලකුණු සටහන

පාකිස්තානය - ඕවර 25.3 කදී සියලු දෙනා දැවී 110
(බාබර් අසාම් 29, හසන් නවාස් 17, ශහීන් ෂා අෆ්රිඩි 15, ඩිල්ෂාන් මධුෂංක 34/5, සහන් ආරච්චිගේ 24/2)

ශ්‍රී ලංකාව - ඕවර 18.1 කදී කඩුලු 2 ක් දැවී 114
(කමිඳු මෙන්ඩිස් නොදැවී 62, අවිෂ්ක ප්‍රනාන්දු 16, පවන් රත්නායක නොදැවී 23)

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem