වටවල, ටෙම්පල්ස්ටෝව් වතුයායේ පිහිටි පාසලකින් අද (17) උදෑසන ලබා දුන් ආහාර වේලක් අනුභව කිරීමෙන් අනතුරුව ඇති වූ ආහාර විෂ වීමක් බවට සැකකෙරෙන තත්ත්වයක් මත එම පාසලේ සිසුන් 35 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ එම පාසලේ 3 වන ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.
රෝග ලක්ෂණ සහ දරුවන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය
අදාළ උදෑසන ආහාර වේල ගැනීමෙන් පසු දරුවන් තුළ වමනය, කරකැවිල්ල සහ පපුවේ වේදනාව වැනි රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බව වටවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කළේය.
කෙසේ වෙතත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටින කිසිදු දරුවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා තහවුරු කර තිබේ.
ආහාර වේලට ඇතුළත් වූ දෑ සහ විමර්ශන කටයුතු
වාර්තා වන අන්දමට අද උදෑසන දරුවන්ට ලබා දී ඇති ආහාර වේල සඳහා බත් සමඟ අර්තාපල්, බීට්රූට් සහ පලා ව්‍යංජනයක් ඇතුළත් වී තිබේ.
මෙම ආහාර විෂ වීම සිදුවූ ආකාරය සම්බන්ධයෙන් වටවල පොලිසිය සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Comments
Moderated before publishing. Your email stays private.