Swipe left or right to navigate stories
උද්ධමනය 7% ක් දක්වා ඉහළ යෑමේ අවදානමක්

උද්ධමනය 7% ක් දක්වා ඉහළ යෑමේ අවදානමක්

පවතින ආර්ථික තත්ත්වයන් මෙලෙසම පැවතුනහොත් නුදුරේදීම මෙරට උද්ධමනය 7% දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අනතුරු අඟවා තිබේ.

'ටීවී දෙරණ' පෞද්ගලික රූපවාහිනී නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අධිපතිවරයා කියා සිටියේ මැදපෙරදිග ගැටුම කඩිනමින් විසඳෙනු ඇතැයි අපේක්ෂාවක් තිබුණද, එය දිගින් දිගටම පැවතීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති බවය.

පසුගිය මාර්තු මාසයේදී යුද්ධයේ ආරම්භක අවධියේදී 'බ්ලූම්බර්ග්' ජාත්‍යන්තර මාධ්‍ය ජාලය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අධිපතිවරයා පෙන්වා දී තිබුණේ, මෙරට උද්ධමනය 1.6% ක් වැනි අඩු මට්ටමක පැවති බැවින් ජාත්‍යන්තර මිල කඩාවැටීම් දරාගැනීමට තරම් ප්‍රමාණවත් ආවරණයක් ශ්‍රී ලංකාව සතු වූ බවයි.

කෙසේ වෙතත් වත්මන් භූදේශපාලනික වර්ධනයන් හමුවේ ඔහුට එම ස්ථාවරය සංශෝධනය කිරීමට සිදුව ඇත.



පාලනයකින් තොරව පවතින ඉල්ලුම සහ පරිභෝජනය

උද්ධමන අනුපාතිකය පිළිබඳ මෙලෙස අශුභවාදී ආකල්පයක් ඇති වීමට හේතුව ලෙස අධිපතිවරයා පෙන්වා දෙන්නේ ජාතික ඉල්ලුම සහ පරිභෝජන මට්ටම්වල කිසිදු වෙනසක් සිදු නොවීමය.

"පරිභෝජනයේ අඩුවීමක් අප දකින්නේ නැහැ. දැනට 5% ක් මට්ටමේ පවතින උද්ධමන අනුපාතිකය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින්නේ ඒ නිසයි. මෙය දිගින් දිගටම පැවතුනහොත් උද්ධමන අනුපාතිකය 7% ක් දක්වා වුවද ළඟා විය හැකියි." වීරසිංහ මහතා අනතුරු ඇඟවීය.

මාර්තු, අප්‍රේල් සහ මැයි මාස පුරා ශ්‍රී ලංකාවේ මාසික ආනයන වියදම අඛණ්ඩව ඇමරිකානු ඩොලර් බිලියන 2 සීමාව ඉක්මවා ගිය බවද අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. මෙවැනි ඉහළ ආනයන පිරිවැයක් මීට පෙර වාර්තා වූයේ විශාල වශයෙන් මුදල් මුද්‍රණය කළ 2021 වසරේ අග භාගයේදී පමණක් බවද ඔහු අවධාරණය කළේය.



පූර්ව ආරක්ෂණ පියවර

මහ බැංකුව විසින් ක්‍රියාවට නංවන ලද පූර්ව ආරක්ෂණ මූල්‍යමය මැදිහත්වීම් මඟින් ඉදිරි මාස තුන ඇතුළත පාරිභෝගික ඉල්ලුම පාලනය කර උද්ධමනය සීමා කිරීමට හැකි වනු ඇතැයි අධිපතිවරයා විශ්වාසය පළ කළේය.

ආනයන කටයුතු සඳහා වන ඩොලර් පිටතට ගලායාම අවම කිරීම වෙනුවෙන් මහ බැංකුව මෑතකදී පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගත්තේය.

ඉන්ධන ආනයනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳුදා ප්‍රකාශ කළේ ඉන්ධන බෙදා හැරීම සඳහා වන QR කේත පද්ධතිය වඩාත් දැඩි ලෙස නිරීක්ෂණය කරන බවය. එමගින් ඉන්ධන පරිභෝජනය තවදුරටත් අඩු කරගත හැකි වනු ඇතැයි ඔවුන් ප්‍රකාශ කර තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem