Swipe left or right to navigate stories
උතුරු-නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම වේගවත් කරන්න ජනාධිපතිගෙන් උපදෙස්

උතුරු-නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම වේගවත් කරන්න ජනාධිපතිගෙන් උපදෙස්

උතුරු සහ නැගෙනහිර පළාත්වල යුද සමයේදී පවරා ගන්නා ලද, දැනට ආරක්ෂක කටයුතු සඳහා තවදුරටත් අවශ්‍ය නොවන බව හඳුනාගෙන ඇති ඉඩම් නිදහස් කර නැවත ලබාදීමේ කටයුතු වේගවත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇත.

උතුරු සහ නැගෙනහිර පළාත්වල හමුදා කඳවුරු පිහිටුවීම සඳහා අත්පත් කරගන්නා ලද පෞද්ගලික ඉඩම් සහ මීට පෙර ප්‍රදේශවාසීන් විසින් භාවිතා කරන ලද රජයේ ඉඩම් අදාළ පාර්ශ්ව වෙත ආපසු ලබාදීම වේගවත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (20) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් නිකුත් කළේය.



ජාතික ආරක්ෂාව

ජාතික ආරක්ෂාව අතිශයින්ම වැදගත් වන අතර හමුදා කඳවුරු සහ අනෙකුත් ආරක්ෂක ස්ථාපිතයන් අවශ්‍ය වන්නේ කොතැනදැයි තීරණය කිරීම ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සුදුසු අනෙකුත් ආරක්ෂක බලධාරීන්ගේ වගකීම බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එම අවශ්‍යතාවලට පදනම්ව නිදහස් කළ හැකි ඉඩම් සහ ආරක්ෂක කටයුතු සඳහා තබා ගත යුතු ඉඩම් මොනවාද යන්න පිළිබඳව අවසාන තීරණයකට එළඹෙන ලෙස හෙතෙම නිලධාරීන්ට දැනුම් දුන්නේය.

තවද ආරක්ෂක කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන ඉඩම් ප්‍රමාණය තීරණය කිරීමේදී ජනතාව මුල් කරගත් ප්‍රවේශයක් අනුගමනය කරන ලෙසත්, මහජනතාව වෙත ආපසු ලබාදිය හැකි උපරිම ඉඩම් ප්‍රමාණයක් නිදහස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.



තිරසාර ජීවනෝපාය

ඉඩම් ආපසු ලබාදීමට සමගාමීව ජනතාවට ජීවනෝපාය මාර්ගයන් සලසා දීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා විශේෂයෙන් අවධාරණය කළේය.

ඒ අනුව ඉහළ උත්පාදනයක් ලබාගත හැකි සහ තිරසාර ජීවනෝපාය අවස්ථා නිර්මාණය කළ හැකි නවීන කෘෂිකාර්මික තාක්ෂණයන් ඇතුළත් ව්‍යාපෘති හඳුන්වා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem