Swipe left or right to navigate stories
ඊ-ජනගහන ලේඛන වැඩසටහන යටතේ ඩිජිටල් මරණ සහතිකය නිකුත් කිරීම ඇරඹේ

ඊ-ජනගහන ලේඛන වැඩසටහන යටතේ ඩිජිටල් මරණ සහතිකය නිකුත් කිරීම ඇරඹේ

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන 'ඊ-ජනගහන ලේඛන වැඩසටහන' යටතේ ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීමේ නව දත්ත පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම බත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදුවිය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතාද සහභාගී වූහ.

ඒ අනුව මීට පෙර භාවිත කළ අතින් ලියන ලද මරණ සහතිකය වෙනුවට ඉදිරියේදී පරිගණක දත්ත පද්ධතියක් මගින් මෙම ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීම සිදු කෙරේ.



නව පද්ධතියේ විශේෂතා

මෙහිදී ඩිජිටල් පද්ධතියක් මගින් සහතික නිකුත් කිරීම හරහා යාවත්කාලීන කරන ලද පුද්ගල දත්ත පද්ධතියක් පවත්වා ගැනීමටත්, විවිධ ආයතන අතර කාර්යක්ෂමව හා ආරක්ෂිතව දත්ත හුවමාරු කරගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.

මෙම ක්‍රමවේදයේ ආරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා නිකුත් කරනු ලබන සෑම මරණ සහතිකයකම සත්‍යතාව ක්ෂණිකව පරීක්ෂා කරගත හැකි පරිදි විශේෂ QR කේතයක් අඩංගු කර තිබේ. එමෙන්ම තොරතුරුවල සුරක්ෂිතතාව වෙනුවෙන් මෙම සහතික මුද්‍රණය කරනු ලබන්නේද ආරක්ෂිත උපාංග ඇතුළත් කරන ලද විශේෂිත කඩදාසියකය.

මෙම නව පද්ධතිය යටතේ කළුතර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස මුද්‍රණය කරන ලද ප්‍රථම ඩිජිටල් මරණ සහතිකය, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා වෙත මෙහිදී නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.



අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා සඳහන් කළේ උපතේ සිට මරණය දක්වා අවශ්‍ය සහතික ලබාගැනීමේදී ජනතාව මුහුණ දුන් කටුක අත්දැකීම් අනාගත පරපුරට විඳීමට සිදු නොවන පරිදි කටයුතු කළ යුතු බවය.

මරණාධාර, රක්ෂණ වන්දි සහ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් වැනි සහන ලබාගැනීමට මරණ සහතිකය කඩිනමින් ලබාදීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, 1994 වසරේ අතුරුදහන් වූවන්ගේ මරණ සහතික සම්බන්ධයෙන් තවමත් සතියකට පැමිණිලි 4-5 ක් ලැබෙන බවද, නව ඩිජිටල් පද්ධතිය හරහා මෙම ගැටලු අවම කර සහතික කඩිනමින් ලබාදීමට හැකිවනු ඇති බවද පැවසීය.



නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත්

පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතා මෙහිදී අවධාරණය කළේ රජයේ ප්‍රධාන අරමුණක් වන ඩිජිටල්කරණ ක්‍රියාවලිය යටතේ පැරණි ක්‍රමවේද වෙනස් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විශාල මැදිහත්වීමක් සිදු කර ඇති බවය.

ලේඛනයක සිදුවන පුංචි අකුරක හෝ ඉස්පිලි-පාපිල්ලක වැරැද්දක් නිසා පුද්ගලයෙකුට ජීවිත කාලය පුරාම දිවුරුම් ප්‍රකාශ ලියන්නට සිදුවන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව යනු සමස්ත පුරවැසියන්ගේම වැදගත්ම ලේඛන සංරක්ෂණය කරන ස්ථානය බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත්, රෙජිස්ට්‍රාර් ජනරාල් එස්. ජලදීපන්, අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල් ඒ.එම්.ආර්.එස්.කේ. අමරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem