Swipe left or right to navigate stories
ඉරානය සමඟ ගනුදෙනු කිරීම කාලය නාස්ති කිරීමක් – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

ඉරානය සමඟ ගනුදෙනු කිරීම කාලය නාස්ති කිරීමක් – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

දෙරට අතර පවතින ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය සමඟ එළඹ තිබූ අවබෝධතා ගිවිසුම ‍‍මේ වන විට නිමාවට පත්ව ඇති බවත්, තමන්ට ඉරාන රජය සමග තවදුරටත් කිසිදු සම්බන්ධතාවයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

තුර්කියේ අන්කාරා අගනුවර පැවැත්වීමට නියමිත නේටෝ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් මේ බව කියා සිටියේය.

නේටෝ මහලේකම් මාර්ක් රූට්ද අසල සිටි එම අවස්ථාවේදී ඉරාන පාලනය දැඩි විවේචනයට ලක් කළ ට්‍රම්ප්, "මට අනුව නම් මම හිතන්නේ එය අවසන්. මට ඔවුන් සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය නැහැ. ඔවුන් මානසිකව රෝගී වූ පිරිසක්. ඔවුන්ව මෙහෙයවන්නේත් රෝගී පුද්ගලයන් විසින්. මට හැඟෙන ආකාරයට ඔවුන් සමග ගනුදෙනු කිරීම කාලය නාස්ති කිරීමක් පමණයි." යනුවෙන් ඉතා දැඩි ස්වරූපයෙන් ප්‍රකාශ කර තිබේ.



සාකච්ඡා බිඳ වැටීම

පාකිස්තානයේ මැදිහත් වීම මත වොෂින්ටනය සහ ඉරාන රජය අතර මීට පෙර තාවකාලික සටන් විරාම ගිවිසුමක් අත්සන් කර තිබුණි.

එහි මූලික අරමුණ වූයේ දෙරට අතර ස්ථිර සාම ගිවිසුමක් ඇති කරගැනීම සඳහා දින 60ක කාලයක් වෙන්කර ගනිමින් සාකච්ඡා කිරීමය.

කෙසේ වෙතත් කටාර් රාජ්‍යයේ පැවැති වක්‍ර සාකච්ඡා වට කිසිදු ප්‍රගතියක් නොපෙන්වා අසාර්ථක ලෙස අවසන් වූ අතර ඉන් අනතුරුව ඇමරිකානු මිලිටරිය විසින් පසුගිය අඟහරුවාදා දින ඉරානය ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කරනු ලැබීය.



ඉරාන තෙල් බලපත්‍රය

දෙරට අතර ඇති කරගත් තාවකාලික එකඟතාවය යටතේ ඉරාන බොරතෙල් සහ පෙට්‍රොකෙමිකල් නිෂ්පාදන අගෝස්තු 21 වැනිදා දක්වා ලෝක වෙළඳපොළට විකිණීමට අවසර දෙමින් ඇමරිකානු මහා භාණ්ඩාගාරය විසින් විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබුණි.

එහෙත් හෝමුස් සමුද්‍ර සන්ධියේදී තෙල් ප්‍රවාහන නෞකා තුනකට ප්‍රහාර එල්ල වීමේ සිද්ධියත් සමග ඇමරිකාව පසුගිය අඟහරුවාදා දින එම බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගත්තේය. ඒ අනුව පවතින සියලුම තෙල් ගනුදෙනු අවසන් කිරීම සඳහා ඇමරිකාව, ඉරානයට ජූලි මස 17 වැනිදා දක්වා පමණක් සහන කාලයක් ලබා දී තිබේ.

මෙම නවතම තත්ත්වයත් සමඟ මැදපෙරදිග කලාපයේ යුධමය සහ දේශපාලන නොසන්සුන්තාවය තවදුරටත් උග්‍ර අතට හැරෙමින් පවතින බව විදේශීය දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem