ඇපල් සමාගම ඩොලර් ට්රිලියන 4 ක වටිනාකමකින් යුත් සමාගමක් බවට පත් කිරීමට නායකත්වය දුන් ටිම් කුක් ඒහි ප්රධාන විධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
ඒ අනුව සැප්තැම්බර් 1 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි එම සමාගමේ දෘඩාංග ඉංජිනේරු අංශයේ ජ්යෙෂ්ඨ උප සභාපති ජෝන් ටර්නස් නව ප්රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාර ගනු ඇත.
ප්රධාන විධායක නිලධාරි තනතුරින් ඉවත් වීමෙන් පසු ටිම් කුක් ඇපල් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ විධායක සභාපතිවරයා බවට පත්වීමට නියමිත බව සඳහන්වේ.
ටිම් කුක්ගේ නිවේදනය
"ඇපල් සමාගමේ ප්රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කිරීමට ලැබීම සහ මෙවැනි අසාමාන්ය සමාගමකට නායකත්වය දීමට විශ්වාසය ලැබීම මගේ ජීවිතයේ ලැබූ විශාලතම ගෞරවයයි" යනුවෙන් කුක් සිය නිවේදනයේ සඳහන් කර ඇත.
ටිම් කුක්ගේ මෙහෙවර
2011 වසරේදී ප්රධාන විධායක නිලධාරියා ලෙස පත්වූ කුක්, යටතේ ඇපල් සමාගම ‘මැක්‘ සහ ‘අයිෆෝන්‘ වලින් ඔබ්බට ගොස් විනෝදාස්වාදය, සෞඛ්ය සහ පළඳින තාක්ෂණික උපාංග වැනි නව ක්ෂේත්රවල ප්රමුඛයෙකු බවට පත් විය. ‘ඇපල් වොච්‘ සහ ‘එයාපොඩ්ස්‘ වැනි ජනප්රිය නිෂ්පාදන හඳුන්වා දුන්නේ ඔහුගේ නායකත්වය යටතේය.
ඔහු කොවිඩ්-19 වසංගතය සහ ඩොනල්ඩ් ට්රම්ප්ගේ වෙළඳ ප්රතිපත්ති මධ්යයේ ඇපල් සමාගම ඉතා දක්ෂ ලෙස මෙහෙයවීය. මෑතකදී ඔහු ට්රම්ප්ගේ බලපෑම් හමුවේ ඇමෙරිකාව තුළ ඇපල් නිෂ්පාදන පුළුල් කිරීම සඳහා ඩොලර් බිලියන 600ක ආයෝජනයක් කිරීමටද පොරොන්දු විය.
නව ප්රධාන විධායක නිලධාරී ජෝන් ටර්නස්
2001 වසරේදී නිෂ්පාදන සැලසුම් කණ්ඩායම හරහා ඇපල් සමාගමට එක්වූ ටර්නස්, ‘අයිපෑඩ්‘ සහ ‘එයාපොඩ්ස්‘ සංවර්ධනය කිරීමෙහිලා ප්රධාන කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයෙකි. ඔහු පසුගිය මාසයේදී ඇපල් සමාගමේ ප්රථම අඩු වියදම් ලැප්ටොප් පරිගණකය වන ‘මැක්බුක් නියෝ‘ හඳුන්වා දීමටද නායකත්වය දුන්නේය.
ටර්නස් මෙම වගකීම භාර ගන්නේ ඇපල් සමාගම කෘතිම බුද්ධිය ක්ෂේත්රයේ තරඟකාරීත්වය හමුවේ යම් අභියෝගවලට මුහුණ දී සිටින තීරණාත්මක වසරකදීය. එළඹෙන ජුනි මාසයේදී 'සිරි' සඳහා වන නව යාවත්කාලීනයක් සහ සැප්තැම්බර් මාසයේදී ප්රථම නැමිය හැකි අයිෆෝන් එක හඳුන්වා දීමට නියමිත බවද වාර්තා වේ.
Comments
Moderated before publishing. Your email stays private.