Swipe left or right to navigate stories
ආබාධ සහිත දරුවන් සඳහා දිස්ත්‍රික්ක 25ට දිවා සුරැකුම් මධ්‍යස්ථාන 25ක්

ආබාධ සහිත දරුවන් සඳහා දිස්ත්‍රික්ක 25ට දිවා සුරැකුම් මධ්‍යස්ථාන 25ක්

දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආබාධ සහිත දරුවන් වෙනුවෙන් "කුසලතා සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන" 25ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේ.

එහි පළමු අදියර යටතේ 2026 අයවැය ප්‍රතිපාදන මඟින් රුපියල් මිලියන 250ක වියදමින් දිස්ත්‍රික්ක 8ක (ත්‍රිකුණාමලය, අම්පාර, මුලතිව්, කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, මාතර සහ හම්බන්තොට) මධ්‍යස්ථාන 10ක් ඉදිකිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන්නකි.



කින්නියාවෙන් ඇරඹි පළමු පියවර

මෙම වැඩපිළිවෙළේ ප්‍රථම මධ්‍යස්ථානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නඩුඋත්තු ග්‍රාම නිලධාරි වසමේදී ජනතා අයිතියට පත් කෙරුණි.

ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙසෙන ආබාධ සහිත දරුවන් 280 දෙනාගෙන් 100 දෙනෙකුම කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත් වන අතර මෙම නව මධ්‍යස්ථානය මඟින් එම දරුවන් 100 දෙනාටම සේවා සැලසීමේ හැකියාව පවතී.

දෙමාපියන්ට සහ භාරකරුවන්ට විශාල අස්වැසිල්ලක් වෙමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) විශේෂ බස් රථයක් මඟින් උදෑසන දරුවන් මධ්‍යස්ථානයට රැගෙන ඒමටත්, සන්ද්‍යාවේ නැවත නිවෙස් වෙත ඇරලවීමටත් කටයුතු යොදා ඇත.

මෙම උත්සවයේදී මධ්‍යස්ථානයේ දෛනික රාජකාරි සඳහා පෙරපාසල් ගුරුවරුන්, සාත්තු සේවිකාවන් සහ කාර්යාල කාර්ය සහයකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද සිදු විය.

එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක, අතිරේක ලේකම් නාලිකා පියසේන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්, සමාජ සේවා අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.



සහකම්පනය පෙරදැරි කරගත් පාලනයක්

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ "පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්" යන ප්‍රතිපත්තිමය පොරොන්දුව යටතේ ජාති, ආගම්, භාෂා හෝ ආබාධිතභාවය මත කිසිදු වෙනසක් නොකර සියලු පුරවැසියන්ගේ ජීවිත සුබදායී කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවය.

සමාජ සේවය යනු ඉතා සංවේදී විෂයයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එහිදී "සහකම්පනය" පෙරදැරි කරගෙන අනෙකාගේ තත්ත්වය තමන්ට දැනෙන ආකාරයෙන්ම අවබෝධ කරගෙන කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

මේ වසර තුළ මෙවැනි මධ්‍යස්ථාන 10ක්ද, ලබන වසරේදී (2027) තවත් මධ්‍යස්ථාන 15ක්ද ස්ථාපනය කරමින් මෙරට පරිපාලන දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි අවම වශයෙන් එක් මධ්‍යස්ථානයක් බැගින් ඉදිකිරීම රජයේ අවසන් ඉලක්කය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem