ඇමරිකාවේ, කැනඩාවේ සහ මෙක්සිකෝවේ සම සත්කාරකත්වය යටතේ පැවැති 23 වැනි පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ස්පාඤ්ඤය අද (20) සමත් විය.
නිව්යෝක් නුවර නිව් ජර්ස් ක්රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ගෝල 1-0 කින් හිටපු ලෝක ශූර ආජන්ටිනාව පරාජය කරමින් ස්පාඤ්ඤය දෙවැනි වරටත් ලෝක ශූරයන් බවට පත් විය.
තරගයේ නියමිත කාලය අවසන් වන තෙක් දෙපිලම ගෝල ලබා නොසිටීම හේතුවෙන් අතිරේක කාලය ක්රියාත්මක කෙරුණු අතර අතිරේක කාලයේදී (106 වැනි විනාඩියේදී) ස්පාඤ්ඤය වෙනුවෙන් ජයග්රාහී ගෝලය වාර්තා කිරීමට ෆෙරන් ටෝරස් සමත් විය.
වසර 16 කට පසු
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ස්පාඤ්ඤ කණ්ඩායමක් ශූරතාව දිනාගත් දෙවැනි අවස්තාව මෙය වූ අතර මින් පෙර ඔවුන් එයට හිමිකම් කියා තිබුනේ මීට වසර 16 කට පෙර එනම් 2010 වසරේදීය.
එවරද ඔවුන් ලෝක ශූරයන් බවට පත්ව තිබුණේ අවසන් මහ තරගයේ අතිරේක කාලයේදී නෙදර්ලන්තයට එරෙහිව ගෝල 1-0 ක ජයක් වාර්තා කරමින් වීම සුවිශේෂී සිදුවීමකි.
මෙවර (2026) ලෝක කුසලාන දිනාගත් ස්පාඥ්ඤ කණ්ඩායමේ නායකයා ලෙස රොඩ්රි හර්නෑන්ඩස් කටයුතු කළ අතර 2010 වසරේ ලෝක කුසලාන දිනාගත් ස්පාඥ්ඤ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ කැසිලස් ෆැර්නෑන්ඩස්ය.
පැමිණි ගමන් මග
මූලික වටයේදී කේප් වර්ඩ් කණ්ඩායම සමග ගෝල 0-0 ක් ලෙස සමවූ ස්පාඤ්ඤය, සවුදි අරාබියට එරෙහිව ගෝල 4-0 ක්ද, උරුගුවේ කණ්ඩායමට එරෙහිව ගෝල 1-0 ක්ද ලෙස ජයග්රහණ වාර්තා කරමින් දෙවැනි වටයට පිවිසියේය.
දෙවැනි වටයේදී ඔස්ට්රියාවට එරෙහිව ගෝල 3-0 ක ජයක් වාර්තා කළ ස්පාඤ්ඤය, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අවසන් 16 දෙනාගේ වටයේදී පෘතුගාලයට එරෙහිව ගෝල 1-0 ක ජයක් වාර්තා කරමිනි.
අර්ධ අවසන් පූර්ව වටයේදී බෙල්ජියමට එරෙහිව ගෝල 2-1 ක ජයක්ද, අවසන් පූර්ව වටයේදී ප්රංශයට එරෙහිව ගෝල 2-0 ක ජයක්ද වාර්තා කරමින් ස්පාඤ්ඤය අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කර ගත්තේය.
දක්ෂතම ක්රීඩකයන්
තරගාවලියේ දක්ෂතම ක්රීඩකයා ලෙස ස්පාඥ්ඤ නායක රොඩ්රි හර්නෑන්ඩස් රන් පන්දුව දිනාගත් අතර දක්ෂතම දැල රකින්නා ලෙස ස්පාඤ්ඤ දැල රකින ක්රීඩක උනායි සයිමන් රන් අත්ආවරණ යුගලයට හිමිකම් කීවේය.
තරග 8 කදී ගෝල 10 ක් රැස්කරමින් මෙවර තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත්වූ ප්රංශ ක්රීඩක කිලියන් එම්බාපේ රන් පාවහන දිනාගැනීමට සමත් විය.
තරගාවලියේ දක්ෂතම යොවුන් ක්රීඩකයා ලෙස සම්මාන දිනාගනු ලැබුවේ 19 හැවිරිදි ස්පාඤ්ඤ ක්රීීඩක පෝල් කබර්සි විසිනි.
Comments
Moderated before publishing. Your email stays private.