මෙරට අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ දිගුකාලීනව පවතින අලි - මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණින් යුතුව සැලසුම් කළ ‘හස්ති සේනා’ දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුම අද (02) වයඹ වනජීවී කලාපයට අයත් ගල්කිරියාගම ප්‍රදේශයෙන් නිල වශයෙන් ආරම්භ විය.
පරිසර අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව එක්ව ඒකාබද්ධව දියත් කරන මෙම වැඩපිළිවෙළ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ.
හක්කපටස් සහ අනවසර විදුලි රැහැන්වලට එරෙහිව දැඩි වැටලීම්
වන අලින්ගේ ජීවිතවලට එල්ල වන මාරාන්තික තර්ජන මැඩපැවැත්වීම සඳහා විද්‍යාත්මක හා සැලසුම්සහගත ක්‍රියාමාර්ග රැසක් මෙම මෙහෙයුමට ඇතුළත් කර තිබේ.
ඒ අනුව වනාන්තර ආශ්‍රිතව අටවා ඇති හක්කපටස්, අනවසර විදුලි රැහැන්, මදු සහ නීතිවිරෝධී ගිනි අවි සොයා විශේෂ සෝදිසි මෙහෙයුම් සහ වැටලීම් අඛණ්ඩව සිදු කිරීමටත්, වරදකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත.
අලි වාසභූමිවලින් 80%ක් ආවරණය වෙයි
ආරම්භක අවස්ථාවට එක්වෙමින් පරිසර අමාත්‍යවරයා අවධාරණය කළේ, ජීවිත අවදානමට ලක්ව සිටින බවට හඳුනාගත් වන අලි 17 දෙනෙකු මූලික කරගනිමින් මෙම මෙහෙයුම ආරම්භ කළ බවය.
දිවයිනේ වන අලි ව්‍යාප්තව සිටින සමස්ත ප්‍රදේශවලින් 80%ක්ම මෙම මෙහෙයුම මඟින් ආවරණය වන අතර ඉතිරි 20%ක කලාපයද වෙනම විශේෂ වැඩපිළිවෙළක් ඔස්සේ ආවරණය කිරීමට කටයුතු යොදා තිබේ.
ආරක්ෂක අංශවල පූර්ණ දායකත්වය
මෙම මෙහෙයුමේ ආරම්භක පියවර සඳහා හමුදා සාමාජිකයින් 60 දෙනෙකුගෙන් සමන්විත බලඇණියක් සහ කණ්ඩායම් හයක් යටතේ ක්‍රියාත්මක මෙහෙයුම් කණ්ඩායම් 10ක් එක්ව සිටියහ.
මෙම අවස්ථාවට වයඹ පළාත් වනජීවී අධ්‍යක්ෂ පුෂ්පන්ත විමලදාස, පරිසර අමාත්‍යාංශයේ උපදේශක රවින්ද්‍ර කාරියවසම්, 21 වන සේනාංකයේ මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බස්නායක සහ ලුතිනන් කර්නල් අබේවික්‍රම යන මහත්වරුන් ඇතුළු පරිසර හා ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියහ.
Comments
Moderated before publishing. Your email stays private.