මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය සහ දූෂණ හා වංචා හේතුවෙන් ශ්රී ලාංකිකයන්ගේ මානව හිමිකම්වලට බලපෑම් එල්ල වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා පෙන්වා දෙයි.
ශ්රී ලංකාව පිළිබඳ ඔහුගේ නවතම වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයට ඉදිරිපත් කර තිබේ.
ණය බර සහ සීමිත රාජ්ය ප්රතිපාදන
එම වාර්තාවට අනුව 2026 වසරේ අයවැයේ රාජ්ය ආදායමෙන් සියයට 49.38 ක් ණය සඳහා පොලී ගෙවීමට වෙන්කර ඇති අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.6 කට සමාන වේ. ණය වාරිකද සමග සැලකීමේදී රාජ්ය ආදායමෙන් සියයට 82.59 ක් පමණ ණය ආපසු ගෙවීමට ශ්රී ලංකාවට සිදුවන බව සඳහන් වේ.
මෙවැනි තත්ත්වයක් තුළ සෞඛ්ය, අධ්යාපනය සහ දුප්පත් හා අවදානමට ලක්වූ ජනතාව සඳහා වන සමාජ ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් සීමිත වන බව එක්සත් ජාතීන් පෙන්වා දෙයි.
ඒ අනුව සෞඛ්ය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.9 ක්ද, අධ්යාපනය සඳහා සියයට 2 ක්ද, සමාජ ආරක්ෂණය සඳහා සියයට 2.4 ක්ද පමණක් වෙන් කෙරේ.
දරිද්රතාවය සහ දිට්වා සුළි කුණාටුවේ බලපෑම
මේ වසරේ මැයි මාසය වනවිට මෙරට ජනගහනයෙන් සියයට 22.1 ක් දරිද්රතාවයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කර ඇති අතර විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල දරිද්රතාව සහ ආර්ථික අවදානම ඉහළ මට්ටමක පවතී.
පසුගිය වසර අවසානයේ බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක භෞතික හානියක් සහ ඩොලර් බිලියන 1.3 ක ආර්ථික පාඩුවක් සිදුව ඇත. ශ්රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 ක පමණ මුදලක් අවශ්ය වේ.
සුළි කුණාටුවත් සමග පසුගිය දෙසැම්බර් මාසයේ සියයට 32 දක්වා ඉහළ ගිය ආහාර අනාරක්ෂිතතාව පෙබරවාරි වනවිට සියයට 21 දක්වා අඩු වූ අතර බලශක්ති මිල ඉහළ යාම සහ පොහොර හිඟය නිසා ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව තවදුරටත් අවදානම් මට්ටමක පවතී.
මීට අමතරව ඇමෙරිකානු-ඉරාන යුද තත්ත්වය හමුවේ ශ්රී ලංකාවේ ආර්ථිකයට සහ ජනතාවගේ ජීවන තත්ත්වයට තවදුරටත් බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බවද වාර්තාව කියයි.
දූෂණ විරෝධී විමර්ශන සහ අභියෝග
ශ්රී ලංකාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ නීති ප්රතිසංස්කරණ, ආයතනික ශක්තිමත් කිරීම, විමර්ශන සහ නඩු පැවරීම් හරහා ක්රියාත්මක කළද, ඒවා ක්රියාත්මක කිරීමේදී ප්රායෝගික අභියෝග පවතින බව වාර්තාව පෙන්වා දෙයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශන අතර ශ්රී ලංකන් ගුවන් සමාගමේ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධ විමර්ශනවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නමද සඳහන් වී තිබේ.
එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව රාජ්ය මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ අධිකරණ ක්රියාමාර්ගද ඉදිරියට යමින් පවතී.
කෙසේ වෙතත් ඉහළ ප්රසිද්ධියක් ලැබූ ඇතැම් නඩු සම්බන්ධ ප්රධාන සැකකරුවන් කිහිපදෙනෙකු සියදිවි නසාගැනීම් ලෙස වාර්තා වූ මරණවලට ලක්වීම හේතුවෙන් වගවීම සහතික කිරීමේ ක්රියාවලිය සංකීර්ණ වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
Comments
Moderated before publishing. Your email stays private.