Swipe left or right to navigate stories
අම්බලන්ගොඩ සිදුවීමට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්

අම්බලන්ගොඩ සිදුවීමට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළදී වයෝවෘද්ධ පුද්ගලයෙකුට පහර දුන් බවට චෝදනා කරමින් අඟහරැවාදා (25) සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පහරදීමට ලක්වූ පුද්ගලයාගේ පුතු විසින් තම පියාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන අයුරු එම වීඩියෝවේ දැක්වේ.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් කණ්ඩායම මෙහෙයවූ උප පොලිස් පරීක්ෂකවරයා දැනටමත් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයෙන් ස්ථාන මාරු කර ඇති බව පොලීසිය පැවසීය.



පසුබිම

වයෝවෘද්ධ පියාට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලීසියෙන් ප්‍රශ්න කරන වීඩියෝවක් සිකුරාදා සමාජ මාධ්‍යවල සංසරණය විය.

එම පුද්ගලයා සමඟ ඇති වූ බහින්බස්වීමේදී පොලීසිය කියා සිටියේ අදාළ වයෝවෘද්ධ පුද්ගලයා බීමත්ව මාර්ගයේ අයුතු ලෙස හැසිරෙමින් සිටියදී සොයාගත් බවය.

අත්අඩංගුවට ගැනීම මඟහැරීමට උත්සාහ කිරීමේදී එම පුද්ගලයා ඇද වැටීමෙන් මෙම තුවාල සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අගෝස්තු 24 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලීසිය විසින් තම පියාට පහරදී ඇති බව අදාළ පුද්ගලයා චෝදනා කළේය.

තම නිවසේ සිට මීටර් 100 ක් පමණ දුරින් සිටියදී පියා නවත්වා ඇති බවත්, ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු පැවසීය.

එමෙන්ම පොලිස් නිලධාරීන් තම පියාට ගිනි අවියක් පෙන්වා තර්ජනය කර ඇති බවත්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වළක්වා ඇති බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.



පරීක්ෂණ

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය. පොලීසියට අනුව ගාල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ කටයුතු සිදු කෙරේ.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය අයත් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයට බාහිර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් මෙම පරීක්ෂණය මෙහෙයවනු ලබයි.

මේ අතර පහරදීමට ලක්වූ බව කියන පුද්ගලයා බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem