නම් කරන ලද ප්‍රධාන ආර්ථික ගනුදෙනු අටක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් පනවා තිබූ නීතිය ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 1 වැනිදා දක්වා දීර්ඝ කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
සංශෝධිත දේශීය ආදායම් පනතේ 103(6) වගන්තිය ප්‍රකාරව මෙම නීතිය 2026 නොවැම්බර් 1 වැනිදා සිට බලාත්මක කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි.
අධික තදබදය හමුවේ මුදල් අමාත්‍යාංශයෙන් අනුමැතිය
TIN සහතික ලබාගැනීම සඳහා ජනතාවගෙන් පැවති දැඩි ඉල්ලුම සහ කාර්යාල ආශ්‍රිතව නිර්මාණය වූ අධික තදබදය සැලකිල්ලට ගනිමින්, ජනතාවට සහ පරිපාලන ආයතනවලට සහනයක් සැලසීම වෙනුවෙන් මෙම කල් දැමීම සිදුකර ඇත. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ නිල අනුමැතියද මේ වන විට හිමිව තිබේ.
මෙමඟින් බදු ගෙවන්නන්ට මෙන්ම අදාළ ආයතනවලටද නව අවසන් දිනට පෙර සිය ලියකියවිලි කටයුතු කිසිදු ගැටලුවකින් තොරව විධිමත් කරගැනීමට මාස පහක සංක්‍රාන්ති කාලසීමාවක් හිමිවේ.
සහතික ගන්න පහසු ඩිජිටල් ක්‍රමවේදයක් – Online ලියාපදිංචිය තවදුරටත්
ලබා දී ඇති මෙම සහන කාලසීමාව තුළ, දැනටමත් ලියාපදිංචි වී සිටින බදු ගෙවන්නන්ට සිය භෞතික හෝ ඩිජිටල් සහතික ලබාගැනීමට වඩාත් පහසු සහ විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමට දෙපාර්තමේන්තුව සැලසුම් කරමින් සිටියි.
එමෙන්ම මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයින් වේ නම්, අනවශ්‍ය ලෙස රස්තියාදු නොවී දෙපාර්තමේන්තුවේ නිල e-Services මාර්ගගත පද්ධතිය ඔස්සේ කඩිනමින් ලියාපදිංචි වන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Comments
Moderated before publishing. Your email stays private.