බැංකු සහ මූල්‍ය කටයුතු ඇතුළු මෙරට ප්‍රධාන ආර්ථික කාර්යයන් අටක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම ඊයේ (01) සිට අනිවාර්ය කිරීමත් සමඟ, අදාළ අංකය ලබාගැනීමට පැමිණි විශාල පිරිසක් හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දැඩි තදබදයක් හටගෙන තිබේ.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය අද (02) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව තහවුරු කළාය.
Online ලියාපදිංචි වන්නැයි ඉල්ලීමක්
මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, අනවශ්‍ය ලෙස රස්තියාදු නොවී TIN අංකය ලබාගැනීම සඳහා දෙපාර්තමේන්තුවේ නිල මාර්ගගත ක්‍රමවේදය භාවිත කරන ලෙසයි.
එමෙන්ම ඉතා අත්‍යවශ්‍ය කරුණකට හැර ප්‍රධාන හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත පෞද්ගලිකව පැමිණීමෙන් වළකින ලෙසද ඔහු මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය.
TIN අංකය අනිවාර්ය වන ක්ෂේත්‍ර
නව නීතිමය ප්‍රතිපාදන අනුව පහත සඳහන් මූලික කටයුතු සිදුකිරීමේදී TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.
- බැංකුවක හෝ මූල්‍ය ආයතනයක නව ගිණුමක් විවෘත කිරීම
- බැංකු ණය කාඩ්පතක් (Credit Card) ලබාගැනීම
- මෝටර් රථයක් අලුතින් ලියාපදිංචි කිරීම
- මෝටර් රථ ආදායම් බලපත්‍රයක් අලුත් කිරීම
- ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම
- ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම
- පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිලි සැලැස්මකට අනුමැතිය ලබාගැනීම
- ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීමේදී (පැවරුම්කරු සහ පැවරුම්ලාභියා යන දෙපාර්ශ්වයම)
කාටද මේක අදාළ වෙන්නේ?
2023 දෙසැම්බර් 31 වැනිදා වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ කළ හෝ ඊට වැඩි සියලුම වාසික පුද්ගලයන් සහ 2024 ජනවාරි 01 වැනිදා හෝ ඉන් පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ කරන සියලුම වාසික පුද්ගලයන් සියලු දෙනා නීත්‍යනුකූලව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී TIN අංකයක් ලබාගත යුතුය.
Comments
Moderated before publishing. Your email stays private.