ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එරාන් වික්රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත්කිරීමට ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන ඇත.
ක්රිකට් පරිවර්ථන කමිටුව ලෙස නම් කර ඇති මෙම කමිටුව සාමාජිකයන් නව දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට හිටපු ජාතික ක්රිකට් ක්රීඩකයන් වන කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණිද ඇතුළත් වෙති.
ඔවුන්ට අමතරව ආයතනික ක්ෂේත්රයේ ප්රමුඛයන් වන තුෂිර රැදැල්ල, අවන්ති කොළඹගේ සහ ප්රකාශ් ෂාෆ්ටර් යන මහත්ම මහත්මීන් ද, ජනාධිපති නීතිඥවරුන් වන උපුල් කුමාරප්පෙරුම සහ දිනාල් පිලිප්ස් යන මහත්වරුද එම කමිටුවේ සාමාජිකත්වය දරති.
ක්රීඩා අමාත්යවරයාගේ ප්රකාශය
ඊයේ ක්රීඩා අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම ක්රීඩා අමාත්යවරයා විසින් පිළිගනු ලැබූ බවත්, පරිපාලන කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා අතුරු කමිටුවක් පත්කරන තෙක් ක්රිකට් ආයතනය තාවකාලිකව තම අමාත්යංශය යටතට පවරා ගන්නා බවත්ය.
"අපට මේ මොහොතේ අවශ්ය වන්නේ තවත් අතුරු කමිටුවක් නොවේ. ක්රිකට් පරිවර්තන කමිටුවක්. ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම නැවතත් තරග ජයග්රහණය කරන, කුසලාන දිනාගන්නා කණ්ඩායමක් බවට පත් කරන්න අවශ්ය වෙනස්කම් මේ කමිටුව මගින් සිදු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා."
ෂම්මි සිල්වා මහතා ප්රමුඛ පාලක මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු ශ්රී ලංකා ක්රිකට් පාලන කටයුතු මෙහෙයවීම සඳහා පත් කරන ලද මෙම පරිවර්තන කමිටුවේ වගකීම පිළිබඳව අදහස් දක්වමින් ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා එසේ පැවසීය.
'පරිවර්තන කමිටුව' යනු කුමක්ද?
මෙම 'පරිවර්තන කමිටුව' යනු ඉදිරියේදී නිලවරණයක් පවත්වා නව පාලක මණ්ඩලයක් පත් කරගන්නා තෙක් ශ්රී ලංකා ක්රිකට් ආයතනය පාලනය කරන අතුරු කමිටුවකි.
පසුගිය කාලවල පත් කළ අතුරු කමිටු මගින් සිදු වූයේ තේරී පත්වන නිලධාරීන් අතර හුවමාරු කාලසීමාව කළමනාකරණය කිරීම පමණක් වුවද, මෙම කමිටුවට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ව්යුහාත්මක ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමේ විශේෂ වගකීමක් පවරා ඇත.
මෙම සංක්රාන්ති කාලසීමාව සඳහා නිශ්චිත කාල රාමුවක් මෙතෙක් ප්රකාශයට පත් කර නොමැති අතර කමිටුව රැස්වී ප්රතිසංස්කරණ ක්රියාවට නැංවීම සඳහා සැලැස්මක් සකස් කිරීමෙන් අනතුරුව එහි සේවා කාලය තීරණය කිරීමට නියමිතය.
සිදු කිරීමට නියමිත ප්රතිසංස්කරණ මොනවාද?
අමාත්යවරයා නිශ්චිත වශයෙන් ප්රතිසංස්කරණ ගැන සඳහන් නොකළද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය මැතිවරණ ප්රකාශය මගින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහා "නව ව්යවස්ථා කෙටුම්පතක්" හඳුන්වා දෙන බවට පොරොන්දු විය.
මෙය බොහෝ විට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පත් කරන ලද විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතාගේ ප්රධානත්වයෙන් යුත් කමිටුව විසින් සකස් කරන ලද වාර්තාව විය හැකිය. එම වාර්තාව මගින් යෝජනා කර ඇත්තේ ශ්රී ලංකා ක්රිකට් ව්යවස්ථාව පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කිරීමටය.
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ ස්ථාවරය
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙම වෙනස්වීම් පිළිබඳව ලෝක ක්රිකට් පාලක මණ්ඩලය වන අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය මෙතෙක් කිසිදු අදහසක් පළ කර නොමැත.
සාමාන්යයෙන් සාමාජික රටවල ක්රිකට් පාලනයට රජය මැදිහත් වීමට අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය දැඩි ලෙස විරුද්ධ වේ.එබැවින් මෙම පරිවර්තන කමිටුව පත් කිරීම සහ සැලසුම් කර ඇති ප්රතිසංස්කරණ 'රජයේ අනිසි මැදිහත්වීමක්' නොවන බවට ක්රීඩා අමාත්යාංශය විසින් අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය දැනුවත් කළ යුතුය.
එසේ නොවුණහොත් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ අවදානමක් පවතින අතර අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලයෙන් ලැබෙන තිපාදන අහිමි වීමේ තර්ජනයක්ද මතුවිය හැකිය.
Comments
Moderated before publishing. Your email stays private.