ඇන්ටිගුවා සහ බාබුඩාහි පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වී සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙරට ආර්ථික, අධ්‍යාපනික සහ වෙළෙඳ සබඳතා පුළුල් කරගැනීමේ අරමුණින් සාමාජික රටවල රාජ්‍ය නායකයින් සහ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සමඟ ඊයේ (03) ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයක නිරත වූවාය.
එම සාකච්ඡාවලදී ඉදිරි වසරවල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ප්‍රධාන ජාත්‍යන්තර සමුළු සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට ඇරයුම් කිරීමටද අග්‍රාමාත්‍යවරිය පියවර ගත්තාය.
ජැමෙයිකානු අගමැතිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමුළු දෙකකට ඇරයුම්
ජැමෙයිකානු අග්‍රාමාත්‍ය ආචාර්ය ඇන්ඩෲ හොල්නස් මහතා හමුවූ අග්‍රාමාත්‍යවරිය, දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත්තාය.
මෙහිදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත ප්‍රධාන ජාත්‍යන්තර සමුළු දෙකක් සඳහා සහභාගි වන ලෙස ඇය ජැමෙයිකාවට විශේෂ ආරාධනයක් සිදු කළාය.
ඒ අනුව 2027 ජනවාරි මාසයේදී මෙරටදී පැවැත්වීමට නියමිත 'එක්ස්පෝ ශ්‍රී ලංකා' ප්‍රදර්ශනයට මෙන්ම 2028 වසරේ මුල් කාර්තුවේදී මෙරට සත්කාරකත්වයෙන් පැවැත්වෙන මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් නිල වශයෙන් ආරාධනා කරන ලදී.
අප්‍රිකානු කලාපයේ ප්‍රබල රාජ්‍ය නායකයන් සමඟ ආර්ථික හා අධ්‍යාපනික කතිකාවක්
අප්‍රිකානු කලාපයේ ප්‍රබල රාජ්‍ය නායකයන් සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ආර්ථික, අධ්‍යාපනික සහ වෙළෙඳ හවුල්කාරිත්වයන් ඉහළ නංවා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.
රුවන්ඩා ජනරජයේ ජනාධිපති පෝල් කගාමේ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව පුළුල් කරගැනීම මෙන්ම නව ආර්ථික අවස්ථා හඳුනාගැනීම පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු කෙරිණි.
එමෙන්ම උගන්ඩා අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය නොර්බට් මාඕ මහතා සමඟ පැවති හමුවේදී තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ වෙළෙඳ ක්ෂේත්රයන්හි දෙරටේම විශේෂඥ දැනුම හා නවීන තාක්ෂණය හුවමාරු කරගනිමින් දෙපාර්ශ්වයටම ප්රතිලාභ අත්වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
අසල්වැසි මාලදිවයින සමඟ කලාපීය සහයෝගීතාව
මීට අමතරව මාලදිවයිනේ උප ජනාධිපති අතිගරු උස්. හුසේන් මොහොමඩ් ලතීෆ් මහතාද හමුවූ අග්‍රාමාත්‍යවරිය, කලාපීය වශයෙන් ආර්ථික, අධ්‍යාපනික සහ සමාජීය ක්ෂේත්රයන්හි අන්‍යෝන්‍ය ප්රතිලාභ අත්වන සහයෝගීතාව ශක්තිමත් කරගැනීම පිළිබඳව අදහස් හුවමාරු කරගත්තාය.
Comments
Moderated before publishing. Your email stays private.