Swipe left or right to navigate stories
7%ක ආර්ථික වර්ධන වේගයක් ඉලක්ක කරගනිමින් ඉදිරිපත්කළ 2027 අයවැය

7%ක ආර්ථික වර්ධන වේගයක් ඉලක්ක කරගනිමින් ඉදිරිපත්කළ 2027 අයවැය

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කරමින්, මෙරට 81 වැනි අයවැය කතාව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය අර්බුද වැනි අභියෝග මධ්‍යයේ වුවද රුපියල් බිලියන 2,000ක දැවැන්ත ප්‍රාග්ධන ආයෝජනයක් සමඟින් 7%ක තිරසර ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීම මෙවර අයවැයේ ප්‍රධානතම ඉලක්කය වී තිබේ.



සාමාන්‍ය ජනතාවට බදු සහන සහ ජීවන වියදම් අඩු කිරීම්

ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් සුවිශේෂී බදු සහන කිහිපයක්ම ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව පෞද්ගලික ආදායම් බදු නිදහස් සීමාව මසකට රුපියල් 150,000 සිට රුපියල් 162,500 (වාර්ෂිකව රු. මිලියන 1.95) දක්වා ඉහළ නංවා ඇති අතර 6% සහ 18% අතරට 12%ක නව බදු ස්ථරයක් හඳුන්වා දීමෙන් තනි බදු ගෙවන්නෙකුට මාසිකව රුපියල් 750 සිට 15,750 දක්වා අතිරේක බදු සහනයක් හිමිවේ.

එමෙන්ම පාසල් අභ්‍යාස පොත්, පෙළපොත්, ශබ්දකෝෂ සහ ළමා පින්තූර පොත් ඇතුළු සියලුම මුද්‍රිත පොත්පත් වැට් (VAT) බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

ඊට සමගාමීව අද (13) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික හාල්මැස්සන් කිලෝවක බද්ද රුපියල් 10 ක් දක්වාත්, උම්බලකඩ කිලෝවක බද්ද රුපියල් 10 ක් දක්වාත්, වියළි මිරිස් කිලෝවක බද්ද රුපියල් 50 ක් දක්වාත් අඩු කර තිබේ.

කෙසේ වෙතත් දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික සීනි බද්ද කිලෝවකට රුපියල් 10කින් වැඩි කර ඇත.



රාජ්‍ය සේවක දීමනා, විශ්‍රාමික සහ සමාජ සුබසාධන ප්‍රතිලාභ

2025 වසරේ ආරම්භ කළ රාජ්‍ය සේවක මූලික වැටුප් වැඩිවීමේ අවසන් අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කර තිබේ.

මීට අමතරව රාජ්‍ය සේවයේ විවිධ ක්ෂේත්‍රයන්හි දීමනාද සංශෝධනය කර ඇති අතර විධායක නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව රුපියල් 100,000 දක්වාත්, වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රුපියල් 25,000කින්, පොලිස් නිලධාරීන්ගේ ආහාර හා නවාතැන් දීමනාව රුපියල් 10,000 කින් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ අවදානම් දීමනාව රුපියල් 16,000 දක්වාත් ඉහළ නංවා ඇත.

ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන්ගේ ගමන් හා කාර්යාල කුලී දීමනා ද ඉහළ දමා තිබේ.

2020 සහ 2024 අතර කාලයේ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් වෙනුවෙන් 2027 ජූලි 01 වැනිදා සිට මාසිකව රුපියල් 2,500ක අතුරු දීමනාවක් ලබාදීමට යෝජනා වී ඇති අතර අස්වැසුම ඇතුළු සමාජ ආරක්ෂණ දීමනා සඳහා රුපියල් බිලියන 230ක් වෙන් කර ඇත.

තවද වකුගඩු රෝගීන්ගේ සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ මාසික දීමනාව රුපියල් 12,500 දක්වා ඉහළ නංවා ඇති අතර විදෙස්ගත ශ්‍රමිකයන්ට රුපියල් ලක්ෂ 50 දක්වා පොලී සහනාධාර නිවාස ණය යෝජනා ක්‍රමයක් සහ ඔවුන්ගේ දෙවන හා තුන්වන පරම්පරාවන්ට ගාස්තු රහිතව ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ වැඩසටහනක්ද හඳුන්වා දී තිබේ.



අධ්‍යාපන, සෞඛ්‍ය සහ ඩිජිටල් ආර්ථික පරිවර්තනය

අධ්‍යාපන ක්ෂේත්‍රය නඟාසිටුවීම වෙනුවෙන් විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ගේ මාසික දීමනාව රුපියල් 20,000 දක්වාත්, දහම් පාසල් ගුරු දීමනාව රුපියල් 12,500 දක්වාත්, උසස් අධ්‍යාපන ශිෂ්‍ය ණය යැපීම් දීමනාව රුපියල් 10,000 දක්වාත් ඉහළ නංවා ඇති අතර පාසල් ඩිජිටල්කරණයට සහ යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 35,000ක් වෙන් කර ඇත.

මහජන සෞඛ්‍ය සේවාවේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 131ක් වෙන් කර ඇති අතර දිවයින පුරා “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” 1,000ක් ඉදිකිරීමට සහ 1990 සුවසැරියට නව ගිලන්රථ 100ක් එක් කිරීමට නියමිතය.

ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සඳහා මෙරට ඉතිහාසයේ වෙන් කළ විශාලතම මුදල වන රුපියල් බිලියන 28.5ක් වෙන් කර ඇති අතර විජේරාම මාවතේ ජාතික AI විශිෂ්ටතා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් සේවා ඩිජිටල්කරණය කිරීමටත් රජය සැලසුම් කර තිබේ.



යටිතල පහසුකම්, ප්‍රවාහනය, කෘෂිකර්මය සහ ක්‍රීඩා සංවර්ධනය

මහාමාර්ග හා අධිවේගී මාර්ග සංවර්ධනය සඳහා රුපියල් බිලියන 487ක් වෙන් කර ඇති අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කඩිනමින් නිම කිරීමට රුපියල් බිලියන 81ක් සහ රුවන්පුර අධිවේගී මාර්ගයට රුපියල් මිලියන 27,000ක් වෙන් කර ඇත.

ප්‍රධාන දුම්රිය මාර්ග තුනක් විද්‍යුත්කරණය කිරීමේ පළමු අදියරට රුපියල් මිලියන 80,000ක් වෙන් කර තිබෙන අතර මහනුවර, ගාල්ල සහ යාපනයට මෙට්‍රෝ බස් සේවාව ව්‍යාප්ත කිරීමටත්, චීන ප්‍රදානයක් ලෙස විදුලි බස් රථ 100ක් සහ ග්‍රාමීය ප්‍රදේශවලට කුඩා බස් රථ 250ක් එක් කිරීමටත් යෝජනා කර තිබේ.

"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ප්‍රදානය රුපියල් ලක්ෂ 15 දක්වා වැඩි කරමින් ඉදිරි වසර පහ තුළ ප්‍රධාන නගරවල මහල් නිවාස 10,000ක් ඉදිකිරීමට පහසුකම් සලසා ඇත.

කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනුවෙන් වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 30,000ක පොහොර සහනාධාරය ලබාදීමට රුපියල් මිලියන 44,000ක් සහ වාරිමාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 77,000ක් වෙන් කර තිබේ.

තවද විදුලිය බිඳවැටීම් වැළැක්වීම සඳහා පද්ධති ශක්තිමත් කිරීමට රුපියල් බිලියන 26.5ක් සහ සූර්ය බලශක්ති බැටරි ගබඩා පද්ධති සඳහා කිලෝවොට් එකකට රුපියල් 25,000ක සහනාධාරයක් ලබා දේ.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් රුපියල් බිලියන 8.5ක් වෙන් කර ඇති අතර ඔලිම්පික් හා ලෝක ශූරතා රන් පදක්කමකට රුපියල් මිලියන 100ක ඇගයීම් දීමනාවක් පිරිනැමීමට සහ සුගතදාස හා අනුරාධපුර ක්‍රීඩාංගණවලට නව කෘතිම ධාවන පථ ඉදිකිරීමටද මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem