ශ්රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අද (25) අග්රාමාත්ය හරිනී අමරසූරිය මහත්මියගේ ප්රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදී ආරම්භ විය.
අද සිට ඔක්තෝබර් මස 4 වැනිදා දක්වා පෙරවරු 9.00 සිට රාත්රී 9.00 දක්වා මෙම ප්රදර්ශනය පාඨකයින් සඳහා විවෘතව පවතී.
ප්රදර්ශනය ආරම්භ කරමින් අදහස් දැක්වූ අග්රාමාත්ය හරිනී අමරසූරිය මහත්මිය කියා සිටියේ ජනාධිපතිවරයා පොරොන්දු වූ ආකාරයට පොත් ප්රකාශකයින් සඳහා බදු සහන ලබාදීමට රජය කටයුතු කරන බවය.
ප්රදර්ශනයේ විශේෂතා සහ පහසුකම්
ප්රදර්ශන කුටි 400කින් සමන්විත මෙවර ප්රදර්ශනයේදී නවකතා, කෙටිකතා, පද්ය, සිනමා, පර්යේෂණ, අධ්යාපන ඇතුළු විවිධ කාණ්ඩ ඔස්සේ රචනා කරන ලද දහස් ගණනක් කෘති මෙන්ම විශාල පාසල් උපකරණ ප්රමාණයක් ද ප්රදර්ශනයට සහ අලෙවියට තබා ඇත.
පාඨකයින් සඳහා විශේෂ වට්ටම් සහ පහසුකම් සලසා දීමට සියලු ප්රකාශකයින් කටයුතු කර ඇති අතර පොත් එළිදැක්වීම් සහ කතුවර හමු සඳහාද අවස්ථාව හිමිවේ. එමෙන්ම සහභාගී වන පාඨකයින්ගේ පහසුව පිණිස විශේෂ බස් සේවාවක්ද ක්රියාත්මක කර තිබේ.
වර්ෂයක් පාසා පැවැත්වෙන මෙම ප්රදර්ශනය සඳහා මෙවරත් විශාල පාඨකයින් පිරිසක් සහභාගි වනු ඇති බවට සංවිධායකයින් විශ්වාසය පළ කරයි.
Comments
Moderated before publishing. Your email stays private.