Swipe left or right to navigate stories
2026 සියලු සංවර්ධන ව්‍යාපෘති මාස 3 කින් නිමා කරන්න අගමැතිනි‌‌ගෙන් නියෝග

2026 සියලු සංවර්ධන ව්‍යාපෘති මාස 3 කින් නිමා කරන්න අගමැතිනි‌‌ගෙන් නියෝග

2026 වසර සඳහා අනුමත ප්‍රතිපාදන යටතේ ආරම්භ කළ සියලුම සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස 3 ඇතුළත අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (11) පැවැති කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටු ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට සහභාගී වෙමිනි.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, අරුණ පනාගොඩ, අසිත නිරොෂණ, දේවානන්ද සුරවීර, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සැලසුම් කමිටු නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.



ප්‍රගති සමාලෝචනය

මෙම සාකච්ඡාවේදී කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කෙරෙන විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, 'ප්‍රජා ශක්ති' දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන සහ ක්‍රීඩා සංස්කෘතියක් බිහිකිරීමේ වැඩසටහන යන ව්‍යාපෘතිවල ප්‍රගතිය දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් විය.

ඊට අමතරව බස්නාහිර පළාත් සංවර්ධන වැඩසටහන, පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් මගින් කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල පවතින තත්ත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

‍
දරිද්‍රතාව තුරන් කිරීම

සංවර්ධන වැඩසටහන්වල වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමෙන් ඒවායේ පවතින ගැටලු හඳුනාගෙන අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමටත්, බාධාවකින් තොරව ව්‍යාපෘති කඩිනමින් නිමකර ජනතාවට ප්‍රතිලාභ ලබාදීමටත් හැකිවන බව අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

විශේෂයෙන්ම මෙම සියලු ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ දරිද්‍රතාව තුරන් කිරීම වන බැවින්, අත්දැකීම් මත පදනම් වූ නිර්නායක සකස් කර නියාමනය කිරීම මගින් එම වැඩසටහන්වල ගුණාත්මකභාවය මෙන්ම දීර්ඝකාලීන ප්‍රතිඵලදායක බව තහවුරු කළ යුතු බවද ඇය සඳහන් කළාය.



ගැටලුව වලට විසඳුම්

ඉඩම්, ඇළ මාර්ග සහ කානු පද්ධතිවල වගකීම දැරීමට ආයතනයක් නොමැති බවට මීට පෙර මතුවූ ගැටලුව පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමිය, කිසිදු වගකීම් දරන ආයතනයක් නොමැති මාර්ග හෝ ඇළ මාර්ග පැවැතිය නොහැකි බව අවධාරණය කළාය.

එහිදී ඇළ මාර්ග සහ ගංගාවල අයිතිය ගැසට් නිවේදනයක් මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති බව නිලධාරීන් දැනුම් දුන් අතර මින්පසු සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේදී එය ගැටලුවක් කර නොගන්නා ලෙස අග්‍රාමාත්‍යතුමිය උපදෙස් දුන්නාය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem