2026 ශිෂ්යත්ව විභාගයේ ප්රතිඵල අනුව සිංහල මාධ්යයේ වැඩිම ලකුණ ලෙස ලකුණු 193 ක් කුරුණෑගල දිස්ත්රික්කයෙන් වාර්තා වී තිබේ.
අද (2) පස්වරුවේ විභාග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්යහමුවේදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මේ බව සඳහන් කළාය.
එමෙන්ම දෙමළ මාධ්ය වැඩිම ලකුණ වන ලකුණු 188 යාපනය දිස්ත්රික්කයෙන් වාර්තා වී ඇත.
සංඛ්යාත්මක තොරතුරු
ඉකුත් අගෝස්තු 9 වැනිදා පැවති මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 294,132 සංඛ්යාවක් ලියාපදිංචි වී සිටි අතර ඉන් සිසුන් 289,867 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටියහ.
මෙවර කඩඉම් ලකුණ 139ක් වන අතර ප්රතිඵල අනුව සිසුන් 56,000ක් කඩඉම් ලකුණට වඩා ඉහළ ලකුණු ලබාගැනීමට සමත්ව තිබේ.
එමෙන්ම මෙවර විභාගයට විශේෂ අවස්ථා සහිත සිසුසිසුවියන් 1,018 ක් පෙනී සිට ඇති අතර බේල් මාධ්යයෙන් දරුවන් 18 දෙනෙකු පෙනී සිටි බවද විභාග කොමසාරිස්වරිය පැවසුවාය.
අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මේ අතර 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාග ප්රතිඵල පදනම් කරගනිමින් දරුවන් දණ්ඩනයට ලක් කිරීම හෝ මානසිකව හිංසනයට ලක්කිරීම සිදු කිරීමෙන් වළකින ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශය අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්යාංශය සඳහන් කරන්නේ විභාග ප්රතිඵල මත පදනම්ව දරුවන් අපහසුතාවයට පත්වන අයුරේ ජනමාධ්ය සහ සමාජ මාධ්ය ප්රචාරණ කටයුතු සිදු කිරීමෙන්ද වළකින ලෙසය.
එලෙස කටයුතු කිරීම ළමා හිංසනය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි වන බැවින් එසේ සිදු කරන්නන් හට උපරිම නීතිමය ක්රියාමාර්ග ගන්නා බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
Comments
Moderated before publishing. Your email stays private.