ලෝක මලල ක්රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන සමාරම්භක "ලෝක මලල ක්රීඩා අල්ටිමේට් ශූරතාවලිය" අද (11) සිට 13 වැනිදා දක්වා හංගේරියාවේ බුඩාපෙස්ට්හිදී පැවැත්වේ.
ලෝක මලල ක්රීඩා ශූරතාවලීන් නොපැවැත්වෙන ඉරට්ටේ වසරවල තරග වාරය නිමා කරමින් පැවැත්වෙන මෙම නව ආරාධිත තරගාවලිය සඳහා මෙවර රටවල් 65 ක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 381 දෙනෙකු ඉසව් 28 ක් යටතේ තරග වැදීමට නියමිතය.
රුමේෂ් තරංග කෙරෙහි දැඩි අවධානයක්
මෙවර තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් රුමේෂ් තරංග එක්ව සිටියි. ඔහු තරග වදින හෙල්ල විසිකිරීමේ ඉසව්ව ශ්රී ලංකා වේලාවෙන් අනිද්දා (13) පස්වරු 9.43 ට ආරම්භ වීමට නියමිතය.
මේ වන විට ලෝක ශ්රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයේ පසුවන රුමේෂ්, 2026 ඩයමන්ඩ් ලීග් ශූරතාව දිනාගැනීමටද සමත් වූ අතර 2026 රෝම ඩයමන්ඩ් ලීගයේදී මීටර් 92.62 ක දක්ෂතාවක් දක්වමින් මෙම වසරේ ඉහළම දක්ෂතාව වාර්තා කළේය. එය නව ශ්රී ලංකා වාර්තාවක් මෙන්ම ඔහුගේ හොඳම පුද්ගලික දක්ෂතාවද විය.
රුමේෂ් තරංගගේ ප්රතිවාදීන්
ජූලියන් වේබර් (ජර්මනිය), කර්ටිස් තොම්සන් (ඇමෙරිකා එක්සත් ජනපදය), ඩාවිඩ් වේග්නර් (පෝලන්තය), ඇන්ඩර්සන් පීටර්ස් (ග්රෙනාඩාව), කේෂෝන් වෝල්කොට් (ට්රිනිඩෑඩ් සහ ටොබැගෝ), ජූලියස් යෙගෝ (කෙන්යාව) සහ අර්ෂාද් නදීම් (පාකිස්තානය) යන ක්රීඩකයන් මෙම තරගාවලියේදී රුමේෂ්ගේ ප්රතිවාදීන් බවට පත්ව සිටිති.
රුමේෂ් ශ්රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණීමට පෙර එහි පෙරමුණ ගෙන සිටි ජර්මනියේ ජූලියන් වෙබර් සහ රුමේෂ් එකිනෙකාට එරෙහිව තරග වදින පළමු අවස්ථාව මෙය වන අතර මින් පෙර ඔවුන් දෙදෙනා එකම තරගයකදී හෝ මුහුණට මුහුණ තරග වැදී නොමැත.
අල්ටිමේට් ශූරතාවලියේ විශේෂත්වය
රූපවාහිනී ප්රේක්ෂකයින් සහ තරුණ පරපුර ඉලක්ක කරගනිමින් පැය තුනකට අඩු කෙටි කාලයකින් සමන්විත වේගවත් තරග රටාවක් ලෙස මෙය නිර්මාණය කර ඇත. මෙහි සමස්ත ත්යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක් වන අතර එහිදී රන් පදක්කම්ලාභීයකු සඳහා ඇමෙරිකානු ඩොලර් 150,000 බැගින් පිරිනැමෙනු ඇත.
ලෝක මලල ක්රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ මහතා සඳහන් කළේ ක්රීඩාව කෙරෙහි ඇති උනන්දුව පවත්වා ගැනීමට මෙම නව තරග රටාව හඳුන්වා දුන් බවය. මෙම තරගාවලියේ තානාපතිවරුන් ලෙස රිටි පැනීමේ ක්රීඩක ආමන්ඩ් ඩුප්ලාන්ටිස් සහ ජැමෙයිකානු කෙටි දුර ධාවන ක්රීඩක උසේන් බෝල්ට් කටයුතු කරති.
Comments
Moderated before publishing. Your email stays private.