Swipe left or right to navigate stories
හිරුණිකාගේ ඇපෑල් පෙත්සම විභාගයට අභියාචනාධිකරණයෙන් දිනයක්

හිරුණිකාගේ ඇපෑල් පෙත්සම විභාගයට අභියාචනාධිකරණයෙන් දිනයක්

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් තමන්ට නියම කළ වසර 3 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කළ ඇපෑල් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (6) දින නියම කළේය.

ඒ මෙම ඇපැල් පෙත්සම අද පී.කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.



විභාගය අගෝස්තු 6 වැනිදා

මෙහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ මෙම අභියාචනය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටින බවය. ඒ අනුව විභාගය සඳහා දිනයක් ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම අභියාචනා විභාගය සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, පෙත්සම විභාග කිරීම සඳහා එළඹෙන අගෝස්තු මස 6 වැනිදා කැඳවීමට නියෝග කළේය.



නඩුවට පසුබිම් වූ හේතුව

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක අමරසිංහ නමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස්, අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා රැසකට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරදකරු කෙරිණි.

ඒ අනුව කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේ ජූනි මස 28 වැනිදා ඇයට බරපතල වැඩ සහිත වසර 3 ක සිර දඬුවමක් සහ රුපියල් 20,000 ක දඩයක් නියම කරන ලදී.

එම දඬුවමෙන් සහ දඩ මුදලින් තමන්ව සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ඇය මෙම ඇපෑල අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem