Swipe left or right to navigate stories
හිරුණිකාගේ අභියාචනය විභාග කරන්න නව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්

හිරුණිකාගේ අභියාචනය විභාග කරන්න නව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්

දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ සිද්ධියට වරදකාරිය වී බරපතළ වැඩ සහිත වසර 3ක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කර ඇති අභියාචනය විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කර තිබේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉදිරියේ අද (11) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, සභාපති විනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත නව විනිසුරු මඬුල්ල නම් කරමින් අදාළ අභියාචනා විභාගය ලබන වසරේ ජනවාරි 21 වැනිදා පැවැත්වීමට දින නියම කෙරිණි.



විනිසුරුවරුන් අතර මතභේදයක් හමුවේ නඩුව සභාපති විනිසුරු වෙත

මෙම අභියාචනය මීට පෙර සලකා බැලූ අවස්ථාවේදී ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් විනිසුරුවරුන් අතර මතභේදාත්මක බෙදීමක් නිර්මාණය විය. ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නඩුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබුණි.

ඒ අනුව අද දින පත් කළ නව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, විනිසුරු පී. කුමාරන් රත්නම් සහ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළත් කර ඇත.



නඩුවට පාදක වූ චෝදනාව සහ සිර දඬුවම

2015 වසරේ දෙසැම්බර් 21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් නීතිවිරෝධී ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා කිහිපයකට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරදකාරිය කෙරිණි.

ඒ අනුව කොළඹ මහාධිකරණය විසින් ඇයට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් සහ දඩ මුදලක් නියම කර තිබූ අතර තමන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ඇය අභියාචනාධිකරණය හමුවේ මෙම අභියාචනය ගොනු කර ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem