Swipe left or right to navigate stories
හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට කැ‍‍ඳවයි

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට කැ‍‍ඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙම මස 12 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන්නැයි එම කොමිසම දැනුම්දී ඇතැයි වාර්තා වේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන 2013 - එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනවලට අදාළව මෙම කැ‍‍ඳවීම කර ඇතැයි දැනගන්නට ලැබේ.

කෙසේ වුවත් ඒ් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එවැනි කැ‍ඳවීමක් සම්බන්ධයෙන් ලිඛිත දැනුවත් කිරීමක් තවමත් මහින්ද රාජපක්ෂ මහතාට ලැබී නොමැති බවය.



පසුබිම

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 6 ක් සහ A-350 වර්ගයේ ගුවන් යානා 8 ක් මිලට ගැනීමේදී, ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවකට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධයෙන් අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත ප්‍රකාරව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සැකකාර කපිල චන්ද්‍රසේන ඉකුත් මාර්තු 12 වනදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව මැයි මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින්, අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේදී සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයිද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.



කපිල චන්ද්‍රසේන මහතාගේ ප්‍රකාශය

එයාර්බස් සම්බන්ධ අල්ලස් නඩුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කරමින් තමන් කළ ප්‍රකාශය බලපෑම් මත සිදුකළ එකක් බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පවසා ඇත.

2013 වසරේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සමග ඇති කරගත් ගනුදෙනුවක කොටසක් ලෙස එයාර්බස් සමාගමෙන් රුපියල් මිලියන 60 ක අල්ලසක් රාජපක්ෂ මහතා ලබාගත් බවට චන්ද්‍රසේන මහතා ප්‍රකාශයක් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබිණ.

කෙසේ වෙතත් ඉන් කෙටි වේලාවකට පසුව චන්ද්‍රසේන මහතා විසින් අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් ඔහුගේ නීතිඥයින් විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලදි. එහි සඳහන් වන්නේ අල්ලස් කොමිසමේ නිලධාරීන් තමන්ට තර්ජනය කරමින් රාජපක්ෂ මහතාගේ නම එම ප්‍රකාශයට ඇතුළත් කිරීමට බලපෑම් කළ බවය.



නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිචාරය

මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවීම සම්බන්ධයෙන් තවමත් ලිඛිත දැනුවත් කිරීමක් නොලැබුණද, ඒ් පිළිබඳව සමාජ මාධ්‍යයන්ගේ විවිධ පුවත් පළවී තිබූ බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ආණ්ඩුව එවැනි පුවතක් සමාජ මාධ්‍යයන් වෙත මුදාහරින්නට ඇත්තේ ඊට අදාල ලිපිය ඉදිරි දින කිහිපය තුළ යොමු කිරීමේ බලාපොරොත්තු සහිතව වන්නට ඇතැයිද එහිදී නාමල් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

යමෙකු බිය වද්දමින් ලබාගත් කට උත්තරයක් මත අල්ලස් කොමිසම මෙම කැඳවීම කිරීමට සූදානමින් සිටින බවද තමාට දැනගන්නට ලැබුණු අතර එවැනි ඕනෑම අභියෝගයකට මුහුණ දීමට මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බවද එහිදී ඔහු පැවසීය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem