හිටපු සිවිල් ගුවන් සේවා අමාත්ය පියංකර ජයරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් අද (1) වසර 14 ක සිරදඬුවම් නියම කර තිබේ.
එම සිරදඬුවම වසර 7 කින් එකවර ගෙවී යන පරිදි ක්රියාත්මක කිරීමට අධිකරණය නියෝග කළේය.
ඊට අමතරව විත්තිකාර හිටපු අමාත්යවරයාට රුපියල් ලක්ෂ දෙකක දඩයක්ද නියම කෙරුණු අතර එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතර වසරක සිරදඬුවමක් ලබා දීමටද නියෝග කර ඇත.
චෝදනාව සහ නඩුකරය
පියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්යවරයා ලෙස කටයුතු කළ 2014 වසරේදී කොළඹ පැවැති මැයි දින පෙළපාලියට සහභාගී වූ ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ සිය ඡන්දදායකයන් සඳහා ආහාර ලබා දීමට කේටරින් සමාගමකට රුපියල් 3,30,000 ක මුදලක් ගෙවන ලෙසට සිය අමාත්යාංශය යටතේ තිබූ ශ්රී ලංකන් කේටරින් සමාගමේ විධායක අධ්යක්ෂවරයා පෙළඹවීම ඇතුළු චෝදනා දෙකක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබුණි.
අධිකරණ තීන්දුව
2019 වසරේදී පවරන ලද මෙම නඩුව දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරු අදාළ චෝදනා දෙකටම වරදකරු කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.
ඒ අනුව එක් චෝදනාවකට වසර 7 බැගින් සිරදඬුවම් සහ රුපියල් ලක්ෂය බැගින් දඩ මුදල් නියම කෙරිණි.
Comments
Moderated before publishing. Your email stays private.