ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු මෙන්ම හිටපු අමාත්යවරයෙකුද වන ජගත් පුෂ්පකුමාර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (08) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසම මගින් ක්රියාත්මක කරනු ලබන විශේෂ දූෂණ විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා අද උදෑසන කොමිෂන් සභාව හමුවට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්යවරයා අද දහවල් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර අධිකරණ ක්රියාමාර්ග ඉදිරියට ගැනීමට නියමිතය.
චෝදනා පසුබිම
හිටපු අමාත්යවරයාට එරෙහිව මීට පෙර දූෂණ හා මූල්ය අක්රමිකතා සම්බන්ධයෙන් චෝදනා කිහිපයක්ම එල්ල වී තිබුණි. ඒ අතර ඔහු අමාත්යවරයෙකුව සිටි සමයේ රජයේ මුදල් රුපියල් මිලියන 5කට අධික ප්රමාණයක් අවභාවිත කර ඇති බවට එල්ල වූ චෝදනාවද ප්රධාන වේ.
මීට අමතරව පොල් සංවර්ධන මණ්ඩලය ඇතුළු ඔහු යටතේ පැවති ආයතනවල සිදු වූ අක්රමිකතා පිළිබඳවද විමර්ශන ක්රියාත්මක වෙමින් පැවතුණි.
ජගත් පුෂ්පකුමාර මහතා මීට පෙර විදේශ රැකියා ප්රවර්ධන රාජ්ය අමාත්ය, වැවිලි කර්මාන්ත නියෝජ්ය අමාත්ය මෙන්ම පොල් සංවර්ධන අමාත්යවරයා ලෙස ද කටයුතු කර තිබේ.
ඇප පිට නිදහස් කරයි
දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්ය ජගත් පුෂ්පකුමාර මහතා අද පස්වරුවේ ඇප මත මුදාහැර තිබේ.
ඒ ඔහු කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. එහිදී ඔහුව මුදාහැර ඇත්තේ ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මතය.
Comments
Moderated before publishing. Your email stays private.