Swipe left or right to navigate stories
හිටපු අමාත්‍ය චාමර සම්පත් එළඹෙන 23 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

හිටපු අමාත්‍ය චාමර සම්පත් එළඹෙන 23 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක එළඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (12) නියෝග කළේය.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

අල්ලස් චෝදනාව සහ මූල්‍ය පරිහරණය

ඉකුත් 2022 සැප්තැම්බර් 08 වැනිදා සිට 2024 සැප්තැම්බර් 23 වැනිදා දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීම වෙනුවෙන් මෙම අල්ලස ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

ඉකුත් 2023 ජූලි මස 11 වැනිදා රැස්වීමක් පවත්වා අදාළ බලපත්‍ර ලබා දෙන ලෙසට සැකකරු විසින් බලපෑම් කර ඇති බවත්, ඒ සඳහා ඉකුත් 2023 ජූලි 23 වැනිදා භූ විද්‍යා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට ඒ බව දන්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව අල්ලස් කොමිසම පෙන්වා දුන්නේය.

එමෙන්ම සැකකරු විසින් මෙම අල්ලස් මුදම ඔහුගේ පුද්ගලික ලේකම්වරයා වන දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම රක්ෂිත බන්ධනාගාරගතව සිටින සුමතිපාල ලියනාරච්චිගේ බැංකු ගිණුමකට බැර කරවාගෙන ඇති බවත්, එම මුදල් දේශපාලන කටයුතු සඳහා භාවිත කර ඇති බවට කරුණු අනාවරණය වන බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් කියා සිටියේය.



විත්තියේ වාද සහ නීතිඥ මතය

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කරුණු දක්වමින් සඳහන් කළේ, අල්ලස් කොමිසම මෙම සිද්ධියට අදාළව ඉදිරිපත් කර ඇති 'බී' වාර්තා දෙක මඟින් කිසිදු අල්ලස් මුදලක් ලබා ගත් බවක් තහවුරු නොවන බවය.

තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් 15 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළද, ඒ කිසිදු අයකුගෙන් සිය සේවාදායකයා බලපෑම් කළා හෝ කුමන්ත්‍රණය කළා යන්න සඳහන් වී නොමැති බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem