Swipe left or right to navigate stories
සැප්තැම්බර් 19 සිට අධිවේගී මාර්ගවල සියලු මගීන්ට ආසන පටි අනිවාර්යයි ‍

සැප්තැම්බර් 19 සිට අධිවේගී මාර්ගවල සියලු මගීන්ට ආසන පටි අනිවාර්යයි ‍

එළඹෙන සැප්තැම්බර් 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, රියදුරු ඇතුළු සියලුම මගීන් ආසන පටි පැළඳ නොමැති කිසිදු වාහනයකට අධිවේගී මාර්ගවලට ඇතුළු වීමට ඉඩ නොදීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සහ ජාතික මාර්ග ආරක්ෂණ සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව තහවුරු කළහ.



සහන කාලය අවසන්

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් 2025 සැප්තැම්බර් 25 වන දින අංක 2455/29 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරන ලදී.

නිෂ්පාදනයේදී පසුපස හෝ මැද ආසන සඳහා ආසන පටි සවි කර නොමැති වාහන හිමියන්ට ඒවා සවි කර ගැනීමට වසරක සහන කාලයක් ලබා දී තිබූ අතර එම සහන කාලය ලබන සැප්තැම්බර් 19 වැනිදායින් අවසන් වේ.

සැප්තැම්බර් 19 සිට අධිවේගී මාර්ග පිවිසුම් දොරටුවලදී පොලීසිය මගින් සියලුම වාහන පරික්ෂාවට ලක් කෙරෙන අතර ආසන පටි නොපළඳා ගමන් කරන රියදුරන්ට මෙන්ම මගීන්ටද රුපියල් 1,000 ක දඩයක් පැනවීමට නීතිමය ප්‍රතිපාදන පවතී.



අධිවේගී බස් රථවලට

මෙම නීතිය සාමාන්‍ය පෞද්ගලික වාහනවලට පමණක් නොව, අධිවේගී මාර්ගවල ධාවනය වන සුඛෝපභෝගී මගී බස් රථවල ගමන් ගන්නා මගීන්ටද එකසේ අදාළ වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ආසන පටි නොපළඳින මගීන්ට එරෙහිව දඩ නියම කිරීමට නීතිමය බලතල ඇති බව හෙතෙම අවධාරණය කළේය.

අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරුවලදී ආසන පටි නොපැළඳීම හේතුවෙන් මගීන් බරපතල තුවාල ලැබීමේ සහ ජීවිතක්ෂයට පත්වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබීම මෙම පියවර ගැනීමට ප්‍රධාන හේතුව වී ඇත.

ඒ අනුව අනතුරු වලින් ජීවිත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට පෙර සියලුම මගීන් නිසි පරිදි ආසන පටි පැළඳ සිටින බවට තහවුරු කරගන්නා ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem