Swipe left or right to navigate stories
සයිබර් සොරකමට හේතුව විද්‍යුත් තැපෑල හැක් කිරීමයි

සයිබර් සොරකමට හේතුව විද්‍යුත් තැපෑල හැක් කිරීමයි

මහා භාණ්ඩාගාරය විසින් ඕස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය සමාගමකට ගෙවිය යුතු ණය මුදලක් සම්බන්ධයෙන් සිදුකරන ලද තොරතුරු හුවමාරුවකදී එයට මැදිහත් වූ හැකර්වරුන් පිරිසක් අදාල ණය මුදල සොරකම්කර ඇතැයි මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

ඕස්ට්‍රේලියානු අපනයන සමාගමත්, මහා භාණ්ඩාගාරයත් අතර මුදල් පියවීමේ කටයුතු සිදුකිරීමේදී තොරතුරු හුවමාරු කරගැනීම අන්තර් ජාලය ඔස්සේ විද්‍යුත් තැපෑල මගින් සිදු කෙරෙන බවත්, එම විද්‍යුත් තැපැල් යාන්ත්‍රණය හැකර්වරුන් විසින් හැක්කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උප‍ෙස් පරිදි මේ සම්බන්ධයෙන් අඛණ්ඩව පරික්ෂණ සිදුකරන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, හැකර්වරුන් සොරකම් කරන ලද මුදල් නැවත ලබාගන්නා තෙක් පදනම් විරහිත තොරතුරු විශ්වාස නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



පසුබිම

විදේශ ණය ආපසු ගෙවීමක් සඳහා වෙන් කර තිබූ භාණ්ඩාගාර අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක (රුපියල් මිලියන 800 කට ආසන්න) මුදලක් සයිබර් හැකර්වරුන් විසින් සොරාගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඊයේ (22) ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය කියා සිටියේ, හැකර්වරුන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිස මෙම සොරකම සිදු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ අනෙකුත් අදාළ ආයතනවලට දැනටමත් පැමිණිලි කර ඇති අතර, අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව දැනටමත් විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ.



විපක්ෂයේ අනාවරණය

ඉකත් වසරේ (2025) සැප්තැම්බර් මාසයේදී ගෙවීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 22.9 ක ණය පියවීමක් අතරතුර අදාළ මුදල් වෙනත් අතකට යොමු කර ඇති බවටත්, ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක වාරිකය නියමිත ණය හිමියා වෙත ලැබී නොමැති බවටත් ඊයේ අනාවරණය විය.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය සිය නිවේදනය මගින් පැහැදිලි කළේ මෙම මුදල් 2026 ජනවාරි මාසයේ සිදු කිරීමට නියමිත විදේශ ව්‍යවහාර මුදල් ගෙවීමකට අදාළ ඒවා බවයි. විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් ඔවුහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමෙන් වැළකී සිටියහ.

මෙලෙස මුදල් වෙනත් අතකට යොමු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය කනස්සල්ල පළ කළහ.
ව්‍යාජ තොරතුරු භාවිත කරමින් හැකර්වරයෙකු විසින් මෙම මුදල් ලබාගෙන ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. නිසි තහවුරු කිරීමකින් තොරව මෙවැනි ගනුදෙනුවක් සිදුවූයේ කෙසේදැයි ප්‍රශ්න කළ ඔහු, රටේ මූල්‍ය පද්ධතිවල දුර්වලතා පෙන්වා දෙමින් මෙය ජාතික ආරක්ෂාව පිළිබඳ පුළුල් ගැටලුවක් නිර්මාණය කර ඇති බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, මෙයින් මහා භාණ්ඩාගාරය තුළ අධීක්ෂණය, අභ්‍යන්තර පාලනය සහ ආයතනික ආරක්ෂණ ක්‍රමවේදයන්හි බරපතළ කඩාවැටීමක් ඉස්මතු වන බවයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ, අදාළ ණය මුදල් නොලැබීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල ඕස්ට්‍රේලියානු ප්‍රතිලාභියා විසින් පැමිණිලි කිරීමෙන් පසුවය රජය විසින් මෙම සොරකම අනාවරණය කරගෙන ඇති බවයි.

මහජන මුදල් සඳහා වගකියන පාර්ලිමේන්තු මුර බල්ලෙකු බඳු වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අධීක්ෂණ කටයුතු කෙරෙහි මුදල් අමාත්‍යාංශය අවඥාවෙන් කටයුතු කර ඇති බවටද ඔහු චෝදනා කළේය. අමාත්‍යාංශ නිලධාරීන් එක දිගට පැවැති අවසන් රැස්වීම් තුනේදීම කමිටුව හමුවේ පෙනී සිටීමට අපොහොසත් වූ බවද ඔහු පැවසීය.

"පාර්ලිමේන්තුවේ වසර 15 කට වැඩි කාලයක් තුළ, පාර්ලිමේන්තු අධීක්ෂණය කෙරෙහි මෙතරම් අවඥාවක් මා කිසි දිනෙක දැක නැහැ" යනුවෙන් ද සිල්වා මහතා X (එක්ස්) සමාජ මාධ්‍යයේ සටහනක්ද තබා ඇත.

"මහජන මුදල් සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව වගකියන්නේ පාර්ලිමේන්තුවයි. මෙය සිදු වූයේ කෙසේද, කවදාද යන්න සහ මුදල් අමාත්‍යාංශය / ශ්‍රී ලංකා මහ බැංකුව මෙතරම් කාලයක් නිශ්ශබ්දව සිටියේ ඇයිද යන්න පිළිබඳව අපට තවමත් පිළිතුරක් ලැබී නැහැ." යනුවෙන්ද ඔහු එහි ලියා තිබිණි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem