Swipe left or right to navigate stories
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 18 ක මිල අඩු කරයි

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 18 ක මිල අඩු කරයි

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ මෙරට පාරිභෝගික ජනතාව මුහුණ දෙන පීඩනය අවම කිරීම සඳහා ලංකා සතොස සිල්ලර අලෙවිසැල් ජාලය හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18 ක මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි පහත හෙළීමට රජය තීරණය කර ඇත.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම නව මිල අඩුකිරීම් අද (10) සිට රට පුරා පිහිටි සියලුම සතොස අලෙවිසැල් හරහා ක්‍රියාත්මක වන බවය.

ලංකා සතොස ආයතනයේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකාරීත්වය කළ විශේෂ අධ්‍යයනයකින් පසුව මෙම මිල අඩුකිරීම්වල වාසිය සෘජුවම පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු යොදා ඇත.



පිටකොටුවේ තොග මිලටත් අඩුවෙන්

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යමින් පවතින පසුබිමක, ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමේ බර ජනතාව මත පැටවීම වැළැක්වීම මෙම සහන වැඩපිළිවෙළේ අරමුණ වී තිබේ.

ඒ අනුව තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ 18 ක් පිටකොටුව තොග වෙළෙඳපොළේ පවතින මිල ගණන්වලටත් වඩා අඩු මිලකට පාරිභෝගිකයා වෙත සෘජුවම ලබාදීමට පියවර ගෙන ඇත.

මෙලෙස මිල පහත හෙළා ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18 අතරට ලොකු ලූනු, සුදු සීනි, පරිප්පු, කවුපි, කඩල, මුං ඇට, රට කජු, තිරිඟු පිටි, කජු මද, කිරිපිටි මෙන්ම රතු කැකුළු, රතු නාඩු, සම්බා, සුදු නාඩු සහ පොන්නි සම්බා යන සහල් වර්ගද ඇතුළත් වේ.



අමාත්‍ය වසන්ත සමරසිංහ

මේ පිළිබඳව අදහස් දක්වමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, ජනතාවාදී රජයක් ලෙස පාරිභෝගිකයා මුහුණ දෙන පීඩනය අවම කිරීම සඳහා රජය සතු රාජ්‍ය වෙළෙඳ යාන්ත්‍රණය උපරිම අයුරින් ක්‍රියාත්මක කරන බවය.

වෙළෙඳපොළ මිල පාලනය කිරීම සහ පාරිභෝගිකයා සුරක්ෂිත කිරීම සඳහා ඉදිරි වසර 3 තුළ දිවයින පුරා සතොස ශාඛා ජාලය වෙළෙඳසැල් 1,000 ක් දක්වා පුළුල් කිරීමට රජය දැනටමත් සැලසුම් කර ඇති බවද, පෞද්ගලික අංශයේ ඒකාධිකාරී මිල ගණන් පාලනය කිරීමට රාජ්‍ය අංශයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem